අද (28) පස්වරුවේ පැවැති විශේෂ කමිටු රැස්වීමකදී මෙම ඒකමතික තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම විධායක කමිටු රැස්වීමකදී ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ තීරණය පළමුව ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ද ඉල්ලා අස්වීමට එකඟත්වය පළකර තිබේ.
වත්මන් ක්‍රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් විධායක සභාව මෙසේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා කෙටිකාලීන අතුරු පාලක කමිටුවක් පත් කිරීමට නියමිතව ඇත.
අදාළ අතුරු කමිටුව සඳහා ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් කිහිපයක් යෝජනා වී ඇති බවත් එම අතුරු පාලක කමිටුව විසින් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි නිලවරණය සංවිධාන කළ යුතු බවත් රජයේ 'දිනමිණ' පුවත් පත වාර්තාකර ඇත.
ජනාධිපතිගේ ඉල්ලීමක් ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මුල් වරට 2019 වසරේ පෙබරවාරි මාසයේ දී ක්‍රිකට් සාමාජික සංගම්වල බහුතර ඡන්දයෙන් තේරී පත්වූ අතර, එහිදී ඔහු ඡන්ද 83ක් හා ජයන්ත ධර්මදාස ඡන්ද 56ක් හිමිකර ගත්හ. සභාපති තනතුරට තරග කිරීමට කල් ඇතිව සූදානමින් සිටි මොහාන් ද සිල්වා ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් ෂම්මි සිල්වා සභාපති සටනට පිවිස ජය ගැනීම එම නිලවරණයේ විශේෂ සිදුවීමක් විය.
අනතුරුව 2021දී යළිත් ක්‍රිකට් සභාපති තනතුරට ෂම්මි සිල්වා පත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු සාමාජික සංගම් තරගයකින් තොරව ඔහුව ක්‍රිකට් මුල් පුටුව කරා රැගෙන ආවේය. ඉතිහාසය පුරා ක්‍රිකට් නිලවරණවලදී තරගයකින් තොරව බහුතර සංගම්වල කැමැත්ත මත ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති තනතුරට තුන්වතාවක් පත්වීම කැපීපෙනිණි.
ෂම්මි සිල්වා ට තවත් වසරකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කිරීමේ හැකියාව තිබියදී ඔහු ඉල්ලා අස්වීමට තීන්දුකර ඇත්තේ ජනාධිපති අනුර කුමාර ඔහුගෙන් කළ කාරුණික ඉල්ලීමක් මත බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මේ අතර, ඊයේ (අප්‍රේල් 27) පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව යි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉඩ දෙයි ද?
ශ්‍රී ලංකාවේ 1973 ක්‍රීඩා නීතිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාට පාලක මණ්ඩල විසුරුවා හැරීමට පුළුල් බලතල ලබා දී ඇති අතර, එය මීට පෙර ක්‍රියාත්මක කර ඇති විධිවිධානයකි.
2015 දී හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි අතුරු කමිටුවක ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, 2018 දී එවකට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, තිලංග සුමතිපාලගේ ධූර කාලය අවසන් වීමෙන් පසු කමල් පද්මසිරි නිසි බලධාරියා ලෙස පත් කළේ ය.
කෙසේ වුවද, ක්‍රිකට් අතුරු කමිටු පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පාලන රාමුවට අනුකූල නොවන අතර, ඔවුන් සිය සාමාජික මණ්ඩලවලට එල්ල වන දේශපාලන මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරයි.
නමුත් 2022 වසරේදී රමීස් රාජා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එරට ක්‍රිකට් පාලන කටයුතු වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කෙරිණි. 2024 වසරේදී පැවති නිලවරණයෙන් අනතුරුව වත්මන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලයට පත් විය.
මේ අතර 2026 අප්‍රේල් මස මුලදී පත් කරන ලද නව සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් තාවකාලික කමිටුවක් යටතේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.
එවන් පසුබිමක 2023 වසරේදී ශ්‍රී ලංකාව අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සාමාජිකත්වය අත්හිටවනු ලදී.
කෙසේ වුවද එවන් පසුබිමක් යටතේ නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එකඟතාවය හිමිවේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.
ඉකුත් මාර්තු මස 05 වැනිදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මාධ්‍ය අමතමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනමය වශයෙන් වෙනස්කම් කිරිම සඳහා රජය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සම්බන්ධ වෙමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවය.
''ක්‍රීඩාව තහනම් කර ගන්නේ නැතිව අවශ්‍ය වෙනස්කම් සිදුකර ගන්න රජයක් හැටියට අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මොකද අද මේ සාකච්ඡාවලට ජනාධිපතිතුමාත් මැදිහත් වෙලා ඉන්නවා.'' යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසුවේය.




