තෙදිනක් ගත වෙද්දී, සමුහ සුසානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතින බව හදුනාගෙන තිබේ.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමග සුසානයේ කැනීම් කටයුතු 2026 අප්‍රේල් 27 වැනි සදුදා පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ වු අතර වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා අප්‍රේල් 29 වැනි බදාදා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනේ කැනීම් වළේ වයඹ කොටසේ මිනිස් අස්ථි පවතින බව හදුනාගෙන ඇති බවයි.
"දැනටමත් කැණීම් කර ගොඩ ගෙන ඇති ඇටසැකිලි අංක 211 සහ 220 තිබු ස්ථාන වල තිබී අවශේෂ කොටස් ගොඩ අරන් තියනවා. කැණීම් දැනටමත් ආරම්භ කර තිබෙන වයඹ කොටසේ අස්ථි කොටස් හදුනාගෙන තිබෙනවා."
සමුහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු දින පනස් හයක කාලයක් පුරා සිදු කිරීමට නියමිතව ඇත.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි. එම සියළු අස්ථි හමුවී තිබුනේ කැනීම් වළේ අඩි එක හමාරත්, දෙකත් අතර ගැඹුරක් තුලදීය.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2026 අප්‍රේල් 7 වැනිදා විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනේ එම සමුහ මිනි වල නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ඇතුළු විදේශීය දුත මණ්ඩල ප්‍රධානීන් පිරිසකට යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අනුමැතිය ලැබුණු බවයි.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ දුත මණ්ඩලයට අමතරව ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියා තානාපති සේවා චෙම්මනි සමූහ මිනීවල නිරීක්ෂණයට අවසර ඉල්ලා තිබුණි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.






