ගොනුකිරීම හෝ ඔහුව නිදහස් කිරීම සිදුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (29) නියෝග කළේය.
ඒ, ඊට අදාළ නීති කෘත්‍යය අද විභාගයට ගත් අවස්ථාවේදීය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, මීළඟ නඩු දිනට පෙර හිටපු ජනාධිපතිවරයාට නිශ්චිත වශයෙන්ම අධිචෝදනා ගොනුකරන බවය.
නිල සංචාරයකට බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහි නීති කෘත්‍යය, විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා මෙලෙස කැඳවීය.
කෙසේ නමුත් එම අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයේ පෙනී නොසිටියේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ තිලක් මාරපන වෛද්‍ය වාර්තා කිහිපයක් අධිකරණයට යොමුකරමින්, සිය සේවාදායකයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් අද දින පෙනී නොසිටින බව දැනුම් දුන්නේය.
අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වීය.
'සැකකාර රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව අධිකරණයට පෙනී යනවා'
" ස්වාමිනි, මේ වෙද්දි මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම වගේ අවසන්. එක් කරුණක් සම්බන්ධයෙන් පමණයි තහවුරුකර ගැනීම අවශ්‍යවෙලා තියෙන්නේ. අධිකරණ නියෝග ප්‍රකාරව වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයට යවන ලද ප්‍රශ්නාවලියේ තිබූ කරුණු 11ටම අදාළව පිළිතුරු සහ ඇමිණුම් ඔවුන් මේ වනවිට එවා තිබෙනවා.
ඒ පිළිබඳ තවදුරටත් රාජ්‍යතාන්ත්‍රීක මට්ටමින් තහවුරු කරගැනීම් සඳහා විධිමත් පියවර ගන්නවාද යන්න පිළිබඳ පමණයි තීරණයක් ගතයුත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මේ දිනවල ලංකාවේ නැති නිසයි එය ප්‍රමාද වී තිබෙන්නේ".
මෙහිදී විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශ ලබාගැනීම පිළිබඳවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු අනාවරණය කළේය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 24 වනදා හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා.
ඇය කියන විදිහට 2023 ජුනි 15 වනදා වොල්වහැම්ටන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට ආරාධනාවක් ලැබී තිබෙනවා. පස්සේ ඇය එයට යන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියදී, සිය ස්වාමි පුරුෂයා වන එවක ජනාධිපතිවරයාගේ කියුබා සහ අමෙරිකා සංචාරයක් අතරතුර Transit එකක් විදිහට උපාධි ප්‍රදානෝත්වයට සහභාගි වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
''මේක පැහැදිලිව Transit එකකට මුවාවෙලා ඇස්වහලා කරපු පෞද්ගලික ගමනක්''
නමුත් ස්වාමිනි අපිට ප්‍රශ්නයක් තියෙනවා හිටපු ජනාධිපතිවරයාගේ ඔය කියන ප්‍රශ්නගත සංචාරය සිද්ධ වුණු සැප්තැම්බර් 22,23 කියන දවස් දෙකේම විශ්වවිද්‍යාලය කොහොමද උපාධි ප්‍රධානෝත්සවයට දින දැම්මේ කියලා.
එහෙනම් ස්වාමිනි මේ පාර්ශව දෙක අතර කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. මොකද පළවෙනි සැකකරු කියන්නේ මේක මහකොමසාරිස් කාර්යාලය හරහා ලද නිල ආරාධනාවකට අනුව සිදුවුණු ගමනක් කියලා. ඔහුගේ බිරිඳ කියනවා Transit එකක් කියලා. ඔවුන්ගේ ස්ථාවරයන් පරස්පරයි.
මේක පැහැදිලිව Transit එකකට මුවාවෙලා ඇස්වහලා කරපු පෞද්ගලික ගමනක්. ඔය කියන උපාධි ප්‍රදානෝත්සවය 2023 සැප්තැම්බර් 23 සවස 2.10 ඉදලා 3.00 වෙනකල් විනාඩි 50ක වැඩසටහනක් ලෙස තිබිලා තියෙන්නේ.
ඒ විනාඩි 50ට මෙරට මහජනතාවගේ මුදල් ලක්ෂ 162ක් වියදම් කරලා තියෙනවා. මෙතන පැහැදිලිව මහජන මුදල් අවභාවිතය පිළිබඳ ප්‍රබල නඩුවක් තියෙනවා.
පළමු සැකකරුගේ බිරිඳවත් සැකකාරියක් ලෙස නම් කරනවාද යන්න පිළිබඳ අපි සාක්ෂි අධ්‍යනය කරමින් ඉන්නේ" යැයි පැවසීය.
''ස්වාමීනි මේකේ ඇත්තටම නඩුවක් නෑ. මෙතන හොයන්න තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මේ වැඩේට මිලියන 16ක් වියදම් කළේ කොහොමද? කියන කාරණය ගැන'' - ජනාධිපති නීතිඥ තිලක් මාරපන
අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දැක්වීය.
"ස්වාමිනි අද මම නම් උසාවියට ආවේ අදින් මේ නඩුව ඉවර වෙයි කියලා හිතලා. මොකද පැමිණිල්ල මුලින් කිව්වේ වුල්වහැම්ටන්විශ්ව විද්‍යාලයෙන් ලද ආරාධනා පත්‍රය ව්‍යාජ එකක් කියලා. දැන් එම විශ්වවිද්‍යාලයෙන්ම ලියවිල්ලක් ඇවිල්ලා තියෙනවා එය සත්‍යයි කියලා.
ඊළඟට එම විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නිසා ආරාධනාව නිල ආරාධනාවක් නෙවෙයි කිව්වා. විමර්ශනයෙන් ඒකත් දැන් තහවුරුවෙලා තියෙනවා එය බ්‍රිතාන්‍ය රජයේ විශ්වවිද්‍යාලයක් කියලා. ඒ කියන්නේ ඒක නිල ආරාධනාවක්.
ඔය කරුණු දෙක සනාථ වුණා කියන්නේ මෙතනින් එහාට නඩුවක් නැහැ. දැන් වංගු දම දමා මේක එක එක විදිහට කරකවන්න හදනවා".
එසේම හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවය අරබයා සිදුකළ සංචාරයක් නොවන බවත්, අදාළ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල ආරාධනයකට අනුව සිදුවූවක් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
"ස්වාමිනි හැමෝම කියනවා මගේ සේවාදායකයා බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට ගියා කියලා. නමුත් ඇත්තටම වුණේ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ ස්වරාජ් පෝල්රාජ් සාමිවරයා උපකුලපති වශයෙන් 25 වසරක සංවත්සරය වෙනුවෙන් තිබූ සැමරුමටයි මගේ සේවාදායකයා සහභාගි වුණේ.
ඒකට ආරාධනා කරපුවාම මගේ සේවාදායකයා කියලා තියෙනවා ඔහු කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයකට යනවා, ඒ අතරතුර සහභාගි වෙන්නම් කියලා. ඔහුගේ කීමටයි උත්සවය ඔය කියන දිනවල පැවැත්වුණේ. ඒ අතරවාරයේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයටත් සහභාගීවෙලා තියෙනවා".
මෙහිදී මහේස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාගෙන් මෙසේ ප්‍රශ්න කළා.
"ඔබ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයක් උපාධිධාරියාට පහසු දිනවල දාගත්තා කියලාද? "
ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා,
"ඒ රටවල උපාධි ප්‍රදානෝත්සව එක් දිනයක් නෙමෙයි ස්වාමිනි තියෙන්නේ. දින 10ක් විතර පැවැත්වෙනවා. ඉතිං පුළුවන් දවසේ දාගෙන."
''ප්‍රශ්නගත සංචාරයේදී සිදුවී ඇති වියදම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වගකිවයුතුයි.''
මෙහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රශ්නගත සංචාරයේදී සිදුවී ඇති වියදම් පිළිබඳ සිය සේවාදායකයාට වගකීමක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වගකිවයුතු බවය.
"ස්වාමිනි දැන් මේ සංචාරයේදී රුපියල් මිලියන 16ක් වියදම් කළා කියනවා. මමත් නිල ගමන් ගිහින් තියෙනවා ස්වාමිනි. ඒ ගමන්වලදී කව්ද කොච්චර වියදම් කරනවාද කියලා අපි බලන්නේ නැහැ. වාහනවලට මිලියන 03ක් ගියා කියනවා.
නමුත් මගේ සේවාදායකයා ඒ වාහන භාවිතා කරලා නැහැ. වාහන දුන්නේ බ්‍රිතාන්‍ය රජයෙන්. ඊළඟට මිලියන දෙකක කෑවා කියනවා. මිනිහෙක්ට මාසයක් කන්නවත් එච්චර ගාණක් යන්නේ නැහැ. අනික ලන්ඩන්වල ඉඳලා තියෙන හෝටලයත් ලොකු හෝටලයක් නෙමෙයි".
එම ප්‍රකාශයත් සමඟම කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙසේ විමසුවා,
"හෝටලය පොඩියි කිව්වාට බිලනම් විශාලයි නේද?"
ඊට ජනාධිපති නීතිඥවරයා මෙසේ පිළිතුරු දුන්නා.
"ඔව් ගෙවලා තියෙනවා. නමුත් Internet එකේ Search කරපුවාම එච්චර බිලක් එන්නේ නැහැ. අපි කියන්නේ මෙතන ලොකු ලොකු ගණන්දාලා මුදල් කාබාසිනියා කරලා තියෙනවා. මෙතන හොරකමක් වෙලා තියෙනවානං මහකොමසාරිස් කාර්යාලය සහ ගමන් කටයුතු සංවිධානය කරපු Skywins කියන ආයතනයයි එකතුවෙලායි එක කරලා තියෙන්නේ.
ඔවුන් ගැන විමර්ශනය කරන්න ඕනේ. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ ඔවුන්ගෙන් සාක්ෂි අරගෙන හරියන්නේ නැහැ."
මෙහිදී අදාළ ගෙවීම් සම්බන්ධයෙන් දෙවන සැකකාර සමන් ඒකනායක ට කිසියම් දෙයක් කීමට ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස කියා සිටියේ, එම ගෙවීම් සම්බන්ධයෙන් සිය සේවාදායකයාට කිරීමට කිසිවක් නොමැති අතර ඒවා විගණනයට ලක්ව ඇති බවය.
''Transit' කියන වචනයේ තේරුම ඉගෙනගත්තේ කීයේ පන්තියේදීද''
අනතුරුව විත්තියේ කරුණු දැක්වීම්වලට පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි පිළිතුරු දුන්නා.
"ස්වාමිනි, මට අහන්න තියෙන්නේ මෙතුමන්ලාගෙන් 'Transit' කියන වචනයේ තේරුම ඉගෙනගත්තේ කීයේ පන්තියේදීද කියලා. ඔය කියන විදිහට හිටපු ජනපතිට විවේක ගන්නද, ලන්ඩන් ඉඳලා කිලෝමීටර් 200ක් ඈතට ගිහිල්ලා, ආයෙත් කිලෝමීටර් 200ක් ආවේ?.
ඔය කියන විවේකයටද පැය 32කට මහජන මුදල් ලක්ෂ 162ක් වියදම් කළේ. අනික මේ දෙවැනි සැකකරු අහන්න එපැයි ලොක්කාගෙන් ඔච්චර වියදම් කළේ මොකටද කියලා. පළමු සැකකරුගේ නීතිඥවරයා කියනවා අපි හොයන්නේ බලන්නේ නැතුව වියදම් කරනවා කියලා.
බංකොලොත් වෙලා තිබ්බ රටක එහෙම කොහොමද ස්වාමිනි මහජන මුදල් කාබාසිනියා කරන්නේ. මෙයාලා කියන විදිහට බ්‍රිතාන්‍ය රජයෙන් වාහන දීලා නැහැ. අඩුම තරමින් බ්‍රිතාන්‍ය රජයට දැනුම්දීමක් කරලා ආරක්ෂාව ඉල්ලාවත් නැහැ. එහෙම එකේ නිකං වාහන දෙන්න පිස්සුද?.
මේක පැහැදිලිව ස්වාමිනි සැලසුම් සහගතව පූර්ව සූදානමක් ඇතිවූ මහජන මුදල් රුපියල් ලක්ෂ 162ක් අවභාවිතා කිරීමක්."
එම කරුණු දැක්වීම් අවසානයේ මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් මෙසේ ප්‍රශ්න කළා.
"නඩු දිනවලදී විමර්ශන ඉක්මන් කරනවා කරනවා කියලා පැමිණිල්ල කියනවා. ජනවාරි නඩු දිනයේ නියෝගයේ තියෙන්නේ අද දිනට පෙර විමර්ශන අවසන් කරලා අධිචෝදනා ගොනුකරනවා කියලා. ඇයි මේ විමර්ශන ප්‍රමාද?"
ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ හිටපු ජනපතිවරයාගේ බිරිඳ ප්‍රකාශයක් ලබාදීම අවස්ථා දෙකකදීම කල් ගිය බවය. අවසානයේ විමර්ශන කඩිනම් කිරීමේ අරමුණින් විමර්ශන නිලධාරීන් ඉකුත් සතියේ නිවසටම ගොස් ප්‍රකාශය ලබාගත් බවයි.
අධිචෝදනා ගොනුකිරීම ගැන දැනට අදහසක් ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට, මීළඟ නඩු දිනට පෙර අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සිය නියෝගය ප්‍රකාශයට පත්කළා.
''පළමු සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවඅධිකරණයේ මතයයි''
" වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයේ ලේඛනයේ නිර්ව්‍යාජත්වය මත මේක අපරාධයක්ද නැද්ද තීරණය වන්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් ලද ලිපිය තුළ ප්‍රශ්නගත සංචාරය ආරාධනයකට අනුව සිදුවූ බව තහවුරු වෙනවා.
නමුත් එය මත එම ආරාධනය නිල ආරාධනාවක් බව තහවුරු වෙන්නේ නැහැ. නිල ආරාධනාවක්නම් රාජ්‍ය තාන්ත්‍රික විදිහට සිදුවිය යුතුයි. නමුත් එවැනි කරුණක් අධිකරණයේ මෙතෙක් අනාවරණය වී නැහැ.
ඒ අනුව නඩුවේ පළමු සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බව මේ අධිකරණයේ මතයයි. ඒකයි අධිචෝදනා ගොනුකිරීම ප්‍රමාදවීම ගැන අධිකරණය ප්‍රශ්න කරන්නේ. සංචාරයට අදාළව මුදල් ගෙවීම්, බිල්පත් ගැන විමර්ශනය කරන්න ඕනේ. එහිදී දෙවන සැකකරුගේ සාවද්‍ය මනස අනාවරණය වෙනවානම් ඔහුට එරෙහිවත් අධිචෝදනා ගොනුකරන්න පුළුවන්.
පළමු සැකකරුගේ බිරිඳ සාපරාධි වරදක් කළ බවට කිසිඳු සාක්ෂියක් දැනට අධිකරණයට පෙනී යන්නේ නැහැ. කල්නොමරා කඩිනමින් විමර්ශන කරලා එක්කෝ අධිචෝදනා ගොනුකරන්න, නැත්නම් නිදහස් කරන්න. මීළඟ නඩු දිනය වනවිට නිශ්චිතව අධිචෝදනා පත්‍රයක් ගොනුකරලා ඒ පිළිබඳ අධිකරණයට දැනුම්දෙයි කියා බලාපොරොත්තු වෙනවා".
ඒ අනුව විමර්ශන ප්‍රගතිය විමසීම සඳහා නඩුව ජුලි 08 වනදා යළි කැඳවීමට නියමිතය.




