එම සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ, පාර්ලිමේන්තු මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේදී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ බවය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව දඬුවම් ලබාදීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ප්‍රතිපාදන සපයා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට එහි සභාපතිවරයාට බලය ඇති අතර එසේ කැඳවීමකට නොපැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ දඬුවම් බලපතල සහ වරප්‍රසාද පනතේ දක්වා ඇති අතර එම වරදවලට පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දඬුවම් කළ හැකි බව රංජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අවුරුදු දෙකක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම යටත් කළ හැකි බව ද රංජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
ඒ අනුව හර්ෂ ද සිල්වා සභාපතිවරයා ලෙස මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී ඇති ඕනෑම අයෙකු එදිනට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකි වේ.
ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර පාර්ලිමේන්තු කමිටු සතු බලතල හෑල්ලුවට ලක්කර නොමැති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.
මුදල් කමිටුවට පැමිණීමට දැනුම්දී තිබියදීත් යම් අයෙකු නොපැමිණෙන්නේ නම් කමිටු සභාපතිවරයා ඉල්ලා අස්වීම හෝ දඬුවම් කිරීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් සිදුකර පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානය රැකගත යුතු බව රංජිත් කීර්ති තෙන්නකෝන් සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් පිළිබඳ කාරක සභාව හමුවට නොපැමිණෙන බවට තමාට දැනුම්දුන් බව කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (29) ප්‍රකාශ කළේය.
විදෙස් ණයක් ගෙවීම සඳහා මහභාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හට අද (30) දිනයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.
කෙසේවෙතත් අද දිනයේ තමාට අදාළ කමිටුව හමුවට පෙනී සිටීමට නොහැකි බව දන්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම විසින් තමාට ලිපියක් මඟින් දැනුම් දුන් බව ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.
භාණ්ඩාගාර ලේකම් 'COPF' හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ - ජනමාධ්‍ය නි. ඇමති
මේ අතර ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසන්නේ, භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි.
හර්ෂණ සූරියප්පෙරුම අද දිනයේ (30) දිනයේ 'COPF' හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් ලිපියක් යොමුකර ඇති බවට එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක් ගෙන තිබෙන පසුබිමක අදාළ ලිපිය මෙලෙස යොමුකර තිබේ.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළේ, අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවය. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සිදුකිරිමට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා 'COPF' හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
එමනිසා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම 'COPF' කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පෙනී සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
රහස් පොලිසියේ විමර්ශන ගැන විශ්වාසයක් නැහැ !
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයේ සාමාජික මෛත්‍රී ගුණරත්න පැවසුවේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (29) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වු අලුත් පාර්ලිමේන්තුවට වැඩසටහනට එක්වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පල කළේ මෙවන් අදහසකි.
"මේකට හැකර්වරයෙකු සම්බන්ධයක් කියලා ඍජු නිගමනයක් තාම ඇවිල්ලා නෑ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් අපිට නිගමනය කරලා කියන්න පුළුවන් පිටරට තියෙන ආයතනය විදියටම ඩොමේන් එකක් හදාගෙන එවැනි පුද්ගලයින්ගේ නම් හා ඊමේල් ආකෘතියත් සමානයි. නොසැලකිල්ලක් තියෙනවා. බැහැර කරන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නය තියෙන්නේ වෙන ආයතනයක් හරහා ආව ඊමේල් එක නිසා තමා මේක වෙලා තියෙන්නේ."
වත්මන් ආණ්ඩුවේ ද දූෂිතයින් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කළේය.




