- ප්‍රතිපත්තිමය තීරණ හරහා රජය දූෂණයට ඉඩ සලසා දීලා
වත්මන් "පුනරුද රජය" ජනතාවට පොරොන්දු වූ පරිදි වැඩ කරනවා වෙනුවට දිනපතා අලුත් පුවත් මවන රජයක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සඳුන් බණ්ඩාර බෝදරගම චෝදනා කරයි.
අද (30) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රජය විසින් ගනු ලබන වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රටේ දේපළ මහා පරිමාණයෙන් විනාශ වෙමින් පවතින බවයි.
භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන්
මෑතකදී මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එය මගහරිමින් සිටි බවත් බෝදරගම සඳහන් කළේය.
මීට පෙර මහ බැංකුව යටතේ තිබූ රාජ්‍ය ණය කළමනාකරණය, රජය විසින් අලුතින් පිහිටුවූ රාජ්‍ය ණය කාර්යාලයට පැවරීම හරහා මෙම වංචාවට ඉඩකඩ සලසා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
දූෂණ වංචා රැසක් හෙළිවේ
ගල්අඟුරු ටෙන්ඩර් ප්‍රමාද කරමින් ලියාපදිංචි නොවූ නවක සමාගමකට ලබාදීම හරහා ඩොලර් බිලියන ගණනක පාඩුවක් රටට සිදුව ඇති බවත්, ලෝක වෙළඳපොළේ වැඩිම මිලට ඩීසල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
මීට අමතරව, වරායේ පැවති තදබදය අවම කිරීමේ මුවාවෙන් පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදාහැරීමට රජය අවසර ලබා දී ඇති බවද ඔහු පැවසීය.
මේ සියල්ල නිලධාරීන් මත පටවා රජයට නිදහස් විය නොහැකි බවත්, මේවා රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත සිදුවූ දේවල් බවත් ඔහු අවධාරණය කළේය.
ක්‍රිකට් පාලනය සහ දේශපාලන ඇඟිලි ගැසීම්
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න පත් කිරීම සම්බන්ධයෙන්ද බෝදරගම සිය විරෝධය පළ කළේය.
"රට බංකලොත් කළ ආර්ථික විශේෂඥයා කියා ජනාධිපතිතුමා එදා හඳුන්වා දුන් පුද්ගලයාම අද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කර තිබෙනවා. මේ සඳහා ජනාධිපතිතුමාගේ හිතවතියකගේත් යම් ආගමික නිකායකත් සම්බන්ධයක් ඇති බවට අපට තොරතුරු තිබෙනවා," යැයි ඔහු පැවසීය.
ප්‍රාදේශීය සභාවලට විදුලි බිල් පත් පෞද්ගලික සමාගමකින්
රජය විසින් විදුලිබල මණ්ඩලය අහෝසි කර පෞද්ගලික සමාගම්වලට පැවරීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවලට දැවැන්ත මූල්‍ය බරක් පැටවී ඇති බව බෝදරගම අනාවරණය කළේය.
මීට පෙර නොමිලේ ලබා දුන් වීදි පහන් ආලෝකකරණය වෙනුවෙන් මේ වන විට "ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්" නම් පෞද්ගලික සමාගම විසින් වීරකැටිය ප්‍රාදේශීය සභාවට පමණක් රුපියල් එක්කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට අධික බිල්පතක් එවා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මේවා අවසානයේ ගෙවීමට සිදුවන්නේ ජනතාවගේ වරිපනම් මුදල් වලින් බවද ඔහු පැවසීය.
පුද්ගලීකරණය සහ අවසාන රොඩ්ඩ
පුද්ගලීකරණයට එරෙහිව බලයට ආ පිරිස් මේ වන විට හම්බන්තොට මීගස්සාර කිරිගව ගොවිපල වැනි රජයේ ආයතන පාඩු ලබන බව පවසමින් විකිණීමට සූදානම් වන බවටද ඔහු චෝදනා කළේය.
"මේ රජය ජනතාවගේ හිත් හිරිවට්ටලා රස කතා කියනවා. ජනතාව දැන්වත් අවදි නොවූවොත් මේ රටේ ඉතිරි වී ඇති අවසාන රොඩ්ඩත් විනාශ වී යනු ඇතැයි" ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුව අවසන් කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
''කුසට සාගිනි, හදට සෝගිනි, ඉනට වැරහැලි කැබලි එල්ලා,
සිටි ඔබට බොරු සිහින පෙන්නා බලය ගෙන රට රැවටූ හින්දා,
නැතැයි කියපු දේවල් නොකෙරුවොත් උඹලා හට කිසිමදා නැගිට පල්ලා,
සිහි එළවාගෙන පෙරට එන්නට කාලය ඇවිල්ලා!"




