දේපළ සියල්ල නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ගත් තීන්දුවක් අනුව අද දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා දී ඇත.
අදාළ දේපල දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් ඇතුළත පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කළ දැනුම්දීමක් අනුව මෙම පියවර ගෙන තිබිණ.
ඒ අනුව අදාළ පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම මහින්දානන්ද අළුත්ගමගේ පදනමේ ලේකම් චාමික ධර්මතිලක විසින් සිදු කරනු ලැබ ඇත.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ හිටපු ඇමැතිවරයා කාලයක් තිස්සේ අවභාවිත කළ දේපොළ නැවත දුම්රිය දෙපාර්තමේන්තුවටම පවරාගැනීමට ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන කටයුතු කළ බවයි.
ඉදිරියේදී මෙම ඉඩම ජනතාවට ප්‍රයෝජනයක් වන මහජන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරිය කීවාය.
කෙසේ වෙතත් මහින්දානන්ද අළුත්ගමගේ පදනමේ ලේකම් චාමික ධර්මතිලක පැවසුවේ වසර විස්සකට වඩා මධ්‍යම පළාතේ සුබසාධන කටයුතු රැසක් කළ පදනමේ දේපළ මෙසේ පවරාගත්තේ නාවලපිටිය තරුණ බෞද්ධ සංගමයේ පුන්‍යක්‍රියාවකට දේපළ ලබාදීමෙන් ගිවිසුම උල්ලංඝනය කළ බව කියමින් බවයි.
මේ අවස්ථාවේ රජය සමග ගැටුමකට නොගොස් අදාළ දේපොළ දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දෙන බවත් ඒවා අර්ථවත් ලෙස භාවිත කරන්නැයි ඉල්ලා සිටින බවත් සභාපතිවරයා කීය.
2009 අංක 75 දරන මහින්දානන්ද අළුත්ගමගේ පදනම (සංස්ථාගත කිරීමේ) පනත මගින් මෙම පදනම පිහිටුවා ඇත.
එම පනතේ 3 වැනි වගන්තියේ පොදු පරමාර්ථ 11ක් දැක්වෙන අතර ඒ සියල්ලම පාහේ ඉලක්ක කර ඇත්තේ අධ්‍යාපන අරමුණුය.
අදාළ සංස්ථාවේ අරමුණු සඳහා ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමට හැකියාව ඇති බවත් එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඇතිව එහි අරමුදල් ආයෝජනය කිරීමට හැකි බවත් එහි දැක්වේ.
2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස. හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පසුගිය වසරේ මැයි 29 වැනිදාය.
ඒ අනුව, හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.
මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ වසර හයක් තිස්සේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




