The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

පක්ෂභේදයෙන් තොරව මාධ්‍යවේදීන්ට පීඩා..

T

The Leader Desk

May 3, 2026 • 4:28 AM

පක්ෂභේදයෙන් තොරව මාධ්‍යවේදීන්ට පීඩා..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘සජබ මැයි රැලිය මාධ්‍යවේදීන්ට තහනම්’ මැයෙන් ලංකාදීප පුවත්පත ඊයේ එය ප්‍රධාන පුවතක් හැටියට පළමු පිටුවේම වාර්තා කර තිබිණ.
  • ‘පච මදිවට හොරු’ මැයෙන් සමගි ජනබලවේගය පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සංවිධානය කළ මැයි දින වේදිකාව දෙසට යද්දී එහි සිටි ආරක්ෂක අංශ විසින් ඇතුළුවීම වලක්වනු ලැබී යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී එම අවස්ථාවට සහභාගී වූ ඡායාරූප මාධ්‍යවේදියෙක් ‘ද ලීඩර්’ට පැවැසීය.
  • එහිදී පක්ෂයට සම්බන්ධව එහි ආරක්ෂක කටයුතුවල නිරත වූ නිලධාරියකු දුරකථන ඇමතුමකින් සජබ මාධ්‍ය අංශයේ අයකු සම්බන්ධ කරගෙන පිවිසුමට අවසර දෙන්නදැයි විමසූ අවස්ථාවේ අදාළ තැනැත්තා හස්ත මුද්‍රාවෙන් අවසර නොදෙන ලෙස පැවැසූ බව ඔහු කීය.
  • ඉන්පසුව මාධ්‍ය ආවරණය නතර කර නැවත සිය ආයතන වෙත පැමිණීමට මාධ්‍යවේදීන් කටයුතු කළ බව ද එම මාධ්‍යවේදියා කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


‘සජබ මැයි රැලිය මාධ්‍යවේදීන්ට තහනම්’ මැයෙන් ලංකාදීප පුවත්පත ඊයේ එය ප්‍රධාන පුවතක් හැටියට පළමු පිටුවේම වාර්තා කර තිබිණ. පසුගිය වසරේ ජාතික ජනබලවේග මැයි දිනයේදී ජනාධිපතිවරයාගේ සේයාරුවක් තම ෆේස්බුක් ගිනුමේ පළකිරීමෙන් පසු එය ඉවත්කිරීමට සිදු වූ ලංකාදීප මාධ්‍යවේදී ලහිරු හර්ෂණ ද මෙවර මෙම තත්ත්වයට මුහුණ පා තිබුණි. ‘සජිත් ප්‍රේමදාසගේ මැයි රැලිය වාර්තා කිරීමට මාධ්‍යට ඉඩනොදීම නිසා ලංකාදීප පුවත්පතේ රැලියේ ඡායාරූප හෝ වාර්තාව පළකිරීමට හැකියාවක් නොමැත’ යනුවෙන් ඔහු පෝස්ටුවක් ඊට අදාළව පළ කර තිබුණි.

ගිය වර මැයි රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක දෑත් විදා ඉහළ දෙස බලන ඡායාරූපය ලහිරු හර්ෂණ මාධ්‍යවේදියා ෆේස්බුක් ගිනුමෙන් ඉවත් කළේ ‘ඡායාරූපයක අන්තර්ගතය කියවීම තමාගේ මතය අනුව වෙනස් වේ. ෆොටෝ එක අයින් කිරීමට සිදුවිය’ යනුවෙන් වූ සටහනක් තබමිනි. ඒ අනුව මෙවර ඔහුට කිසිදු සටහනකට හෝ ඡායාරූපයකට ඉඩක් ලැබී නැත.

‘පච මදිවට හොරු’ මැයෙන් සමගි ජනබලවේගය පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සංවිධානය කළ මැයි දින වේදිකාව දෙසට යද්දී එහි සිටි ආරක්ෂක අංශ විසින් ඇතුළුවීම වලක්වනු ලැබී යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී එම අවස්ථාවට සහභාගී වූ ඡායාරූප මාධ්‍යවේදියෙක් ‘ද ලීඩර්’ට පැවැසීය. එහිදී පක්ෂයට සම්බන්ධව එහි ආරක්ෂක කටයුතුවල නිරත වූ නිලධාරියකු දුරකථන ඇමතුමකින් සජබ මාධ්‍ය අංශයේ අයකු සම්බන්ධ කරගෙන පිවිසුමට අවසර දෙන්නදැයි විමසූ අවස්ථාවේ අදාළ තැනැත්තා හස්ත මුද්‍රාවෙන් අවසර නොදෙන ලෙස පැවැසූ බව ඔහු කීය. ඉන්පසුව මාධ්‍ය ආවරණය නතර කර නැවත සිය ආයතන වෙත පැමිණීමට මාධ්‍යවේදීන් කටයුතු කළ බව ද එම මාධ්‍යවේදියා කීය.

ඩේලි මිරර් පුවත්පතේ සමගි ජනබලවේග පක්ෂයේ කටයුතු කලක් තිස්සේ ආවරණය කරන මාධ්‍යවේදී යොහාන් පෙරේරා ද වේදිකාව අසලින් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු බව පවසා ඇත. එහෙත් ඉන්පසුව යොහාන් පෙරේරා ද එතැනින් ඉවත්කිරීමට අදාළ පිරිස කටයුතු කර තිබේ.

සජිත් ප්‍රේමදාසත් කැමරාවට බයද?

වැඩ කරන ජනයා ඇතුළුව වෘත්තිය සමිති බලය පෙන්වන මැයි දින රැලියකදී ඡායාරූප මාධ්‍යවේදීන් මෙවැනි හිරිහැරයකට ලක්කිරීම ගැන දේශපාලන පක්ෂයක් හැටියට සමගි ජනබලවේගය ලැජ්ජා විය යුතු යැයි ඡායාරූප මාධ්‍යවේදීහු පවසති. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තැබූ ප්‍රාදේශීය මාධ්‍යවේදී බන්දු තඹවිට පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස ගේ ප්‍රාදේශීය රැස්වීම්වලදී ද කැමරා උපකරණ රැගෙන ඇතුල්වීමට ඉඩ නොදෙන බවය. “එයාගෙන් කියවෙන වැරැදි වචන වාර්තා කරාවි කියලා එයාගෙම කට්ටිය විතරයි ඒවා ආවරණය කරන්නෙ. ඒ නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එයාගෙ රැස්වීම් ආවරණය කරන්නේ නෑ” යනුවෙන් තඹවිට සටහන අවසන් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් ලියුම්කරු කළ විමසීමේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසුවේ ජනමාධ්‍යට වෘත්තියෙන් සම්බන්ධව සිටි සජබයේම මන්ත්‍රීවරයකු විසින් මෙම කටයුතු මෙහෙයවනු ලබන බවයි. මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙසින් තබාගත යුතු සංවේදීභාවය අහිමිවීම ගැන පුද්ගලිකව තමා කනගාටු වන බව ද ඔහු කීවේය.

මාධ්‍ය ඒකකය ගැන ජනපතිට පැමිණිල්ලක් ..

ඒහි පස්සිකෝ භික්ෂු පා ගමනේ මාධ්‍ය ආවරණයට ගිය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ජනාධිපති මාධ්‍ය ඒකකයේ උපදේශක චන්දන සූරියබණ්ඩාර පහරදී බිය වද්දා ඇතැයිද මෙම සිදුවීම පිළිකුලෙන් යුතුව හෙලා දකින්නේ යැයි ද කියමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේ පසුගියදාය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එහිදී චෝදනා කළේ රාජ්‍ය නිලධාරියකුගේ බලතල ඉක්මවා යමින් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අනවශ්‍ය ලෙස ප්‍රමුඛත්වය දෙමින් සූරියබණ්ඩාර එහිදී හැසිරී ඇති බවටය. ජනාධිපති මාධ්‍ය අංශයේ උපදේශකවරයෙකුගෙන් මෙසේ පීඩාවට ලක්ව ඇත්තේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකම මාධ්‍යවේදීන් දෙදෙනෙකු වීම උත්ප්‍රාසජනක කරුණක් යැයිද ඊට කඩිනමින් මැදිහත්වීමක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම සංගමය සිය ලිපියේ සඳහන් කර තිබිණ.

මෙම සිදුවීම පසුගිය ආණ්ඩු ගෙන ආ මර්දන අණ පනත් ඉදිරියට ගෙනයාමේ හා වර්තමානයේ සාකච්ඡාවට බඳුන්ව ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇහිරීමට සංස්කෘතික අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයේ සරණ පැතීම වැනි කාරණාවලම දිගුවක් යැයි පැවසූ ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එමගින් පෙන්වන්නේ ජාතික ජනබලවේග පාලන තන්ත්‍රයේ මාධ්‍ය ප්‍රතිපත්තිය යැයි අවධාරණය කළේය. එමනිසා රාජ්‍ය හස්තය යොදමින් සිදුවන මෙවැනි ක්‍රියා වැලැක්වීමට කඩිනමින් මැදිහත්වී ජනමාධ්‍යවේදීන්ට වෘත්තිය ගෞරවයකින් යුතුව රාජකාරි කිරීමේ ඉඩ සකසා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් හා ලේකම් රංග බණ්ඩාරනායකගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ඉන්පසුව සිදුවීමට මුහුණ පෑ 'සන්ඩේ ඔබ්සර්වර්' මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවය සහතික කිරීම සඳහා ජනාධිපති රාජ්‍ය ආයතන විෂයෙහි මාර්ගෝපදේශ ලබාදෙන ලෙසය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලද ආරාධනය අනුව තමා ඊට සහභාගී වූ බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අස්සනින් යුතුව මාධ්‍යවේදීන්ට නිකුත් කරන හැදුනුම්පත එම අවස්ථාවේ පැළඳ සිටි නමුත් ජනපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර සාම පා ගමන තමාට ආවරණය කළ නොහැකි බවත් එය සිරස ටීවී ආයතනය වෙත පවරා ඇති බවත් කියමින් රාජකාරියට බාධා කළේ යැයි බුවනෙක පෙරේරා එම ලිපියේ සඳහන් කර තිබුණි. මාධ්‍යවේදී බුවනෙක පෙරේරා අදාළ සිදුවීම ගැන මහනුවර පොලිසියට පැමිණිල්ලක් ද කර තිබූ අතර සිදුවීම ගැන දඹුල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බව ‘ද ලීඩර්’ කළ විමසීමේදී පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

අනුරුද්ධ ලොකුහපුආරච්චි සිද්ධිය..

උත්ප්‍රාසජනක කරුණ වූයේ බුවනෙක පෙරේරා මාධ්‍යවේදියා මුහුණ පෑ අතවරයටම එම සාම පා ගමනේදීම ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂවරයා වූ ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි ද මුහුණපෑමය. ජනාධිපති මාධ්‍ය ඒකකයේ උදහසට ලක් වූ අවස්ථාවේ ලහිරු හර්ෂණ මාධ්‍යවේදියාගේ ඡායාරූපය විශිෂ්ට සේයාරුවක් ලෙසින් හඳුන්වමින් ෆේස්බුක් සටහනක් තැබූ අනුරුද්ධ ලොකුහපුආරච්චි විසින් රචිත ‘ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන්’ කෘතිය කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 9 වැනිදාය.

සාම පා ගමනේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මාධ්‍ය ආවරණයට අදාළ රාජකාරියේ නිරතව සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එය වැලැක්වීම සිදුවීමයි. එහිදී තමා කවුදැයි දන්නවාදැයි පොලිස් නිලධාරියෙක් විමසා සිටි ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂවරයා එම අවස්ථාවට පොලිසිය අවශ්‍ය නැතැයි ද පැවැසීය.

දේශපාලකයන් නොතකන තොරතුරු දැනගැනීමට ඇති අයිතිය..

ජනමාධ්‍ය නිදහස යන සංකල්පය උපදින්නේ හුදෙකලාව නොවේ.  ඊට මූලාශ්‍ර වන්නේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියයි. එවිට ජනමාධ්‍යවේදියා සොයාවිමසන්නේ පෞද්ගලිකව තමාට වැදගත් දේ නොව සමාජ ජීවිතයක් ගත කරන පොදු පුරවැසියාට අවශ්‍ය තොරතුරුය. විශේෂයෙන්ම සම්මත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේදී කලින් කලට පවත්වන මැතිවරණවලදී තමන් කැමැති දේශපාලන පක්ෂය හෝ එහි නායකයන් දිනවීම සඳහා වූ වරණයට ජනතාවට අවශ්‍ය වන්නේ තොරතුරුය. ප්‍රජාතන්ත්‍රවාදය හා තොරතුරු අතර ඇති බැඳීම එයයි.

“කිසියම් පුවත්පත් වාර්තාකරුවෙක් පහසුවෙන් සතුටු කළ නොහැකිවීම නිසා හෝ හුදෙක් තම පාඨකයන්ට සතුටක් ලබාදීමේ අරමුණෙන් අවංක දේශපාලනඥයන්, ප්‍රභූ කාන්තාවන් හා ගුණවත් කොන්ත්‍රාත්කරුවන් ගැන පමණක් විස්තර ඉදිරිපත් කරන්නේ නම් ඔබ කුමක් කියන්නේද?” - --ඇන්ටන් චෙකොෆ්

ඇන්ටන් චෙකොෆ් පවසන ආකාරයට අවංක දේශපාලනඥයකු ගැනම කරුණු වාර්තා කරන්නේ නම් ඒ මාධ්‍යවේදීහු නොවෙති. ප්‍රවෘත්ති හෝ ඡායාරූපයට අදාළ පෙරහනින් නිවැරැදි තොරතුර ජනගත කිරීම ඔවුන්ගේ කාර්යයි. ආසන්න කාලයේදී මාධ්‍යවේදීන් මුහුණ දී තිබෙන තත්ත්වයෙන් මතුවන ප්‍රශ්නයක් තිබේ. එනම්, සිදුවීම්වල සැබෑ තොරතුර ජනගත කිරීමට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව වාරණ ක්‍රියාත්මක වන බවයි.

දිනෙක ලෝකය විසින් ඔබව නිශ්චය කෙරෙනුයේ ඔබේ ඡායාරූප මත පමණක්ම නොව හෘදය සාක්ෂිය ද පදනම් කරගෙන යැයි පැවසුවේ ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරූප ශිල්පියකු සේ සැලකෙන කෙවින් කාටර්ය. 1994 පුලිට්සර් සම්මානය දිනාගත් ඔහු එම වසරේම සිය දිවි නසාගත්තේ සම්මානනීය ඡායාරූපය නිසාය. මන්දපෝෂණයෙන් පෙළෙන දැරියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආහාර බෙදා දෙන ස්ථානයකට අපහසුවෙන් ඇදෙද්දී ඇගේ අසළම ගිජුලිහිණියකු සිටින කවුරුවත් දන්නා ඡායාරූපය එයයි. 

 
නිව්යෝක් ටයිම්ස්හි එම ඡායාරූපය පලවීම සමග සිදුවුණේ දැරියගේ ඊළඟ ඉරණම ගැන ලෝකයා ප්‍රශ්න කිරීමය. එහෙත් ඒ ගැන කාටර් හෝ කිසිවෙකු නොදැන සිටි බැවින් කාටර් යනු තවත් ගිජුලිහිණියකු පමණක් යැයි දැඩි චෝදනාවක් නැගිණි. කාටර් සිය දිවි නසාගත්තේ වරදකාරී හැඟීම තමාට සමාව නොදෙන බව කියමින් සටහනක් තබමිනි. එහෙත් ලංකාවේදී හෘද සාක්ෂියේ ප්‍රශ්නය මේ අවස්ථාවේ මතුව තිබෙන්නේ කාටර්ලාගේ පැත්තෙන් නොවේ. දේශපාලන පක්ෂ නායකයන්ගේ පැත්තෙනි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පක්ෂභේදයෙන් තොරව මාධ්‍යවේදීන්ට පීඩා.. | The Leader