කටුගස්තොට ගොහාගොඩ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ආසන්නයේදී වෙඩි ප්‍රහාර දෙකකට ලක්ව බරපතළ තුවාල ලත් පුද්ගලයා මහනුවර හන්තාන ගැමුණු මාවතේ පදිංචිකරුවෙකි.
තවද තුවාලකරු මහනුවර ජාතික රෝහලේ පවිත්‍රතා අංශයේ සේවය කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි කියයි.
ඔහුගේ සුසුම්නාවට හානි සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙදරු පියෙකු වන තුවාලකරු පුද්ගල පහරදීමකට මෙයට පෙර අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් නිලධාරියෙක් කීය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
මෙම වසරේ පළමු දින 45 ඇතුළත සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකළ වෙඩි තැබීම්වලින් ද්විත්ව ඝාතනයක් ඇතුළුව පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් තිබුණු බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කර තිබිණ.
තලංගම පොතුආරාව පාර අකුරේ ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට පෙබරවාරි 13 වැනිදා නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ ඝාතනය ද ඊට ඇතුළත්ය.
ඊට පසු දින එනම් පෙබරවාරි 14 වැනිදා විනාඩි 30 ක් ඇතුළත වෙරළ බඩ සහ කළුතර උතුර පොලිස් වසම්ලදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනය විය.
2025 වසර තුළ දිවයින පුරා වෙඩි තැබීම් සිද්ධීන් 114ක් වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 60 දෙනෙකු මිය ගොස් තවත් 57 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවැසීය.
| ගිම්හාන් ද සිල්වා




