* බලශක්ති සහ පාස්පෝට් ටෙන්ඩර්වල මහා පරිමාණ වංචා, රටේ ජාතික ආර්ථිකය බිඳවැටීමක
ආචාර්ය සුපුන් ජයසිංහ අනාවරණය කරයි.
ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ නිර්දේශය මත වර්තමාන රජය විසින් සිදුකර ඇති නව බදු සංශෝධන හරහා රටේ “නිෂ්පාදන ආර්ථිකයේ කොඳුනාරටිය” බඳු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙත අනුකම්පා විරහිත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ පවසයි.
පසුගිය අප්‍රේල් 29 වනදා සිදුකරන ලද වැට් බදු සංශෝධන මගින් මූල්‍ය සේවා මත පනවා තිබූ බදු අනුපාතිකය 18% සිට 22.5% දක්වා ඉහළ දමා ඇති අතර, වැට් බදු ලියාපදිංචි කිරීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට 36 දක්වා විශාල ලෙස පහත දමා ඇති බව ඔහු කියා සිටියි.
මෙම තත්ත්වය යටතේ මෙතෙක් වැට් බදු දැලට හසු නොවූ සුළු ව්‍යාපාරිකයන් රැසකට එළඹෙන ජූලි මස 1 වනදා සිට අනිවාර්යයෙන්ම වැට් බදු සඳහා ලියාපදිංචි වීමට සිදුවන බවත්, එය ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ දැමීමට සෘජුවම බලපාන බවත් ඔහු අවධාරණය කර සිටියි.
ආචාර්ය සුපුන් ජයසිංහ මෙම කරුණු කියා සිටියේ බත්තරමුල්ල ජනිපෙ පක්ෂ කාර්යාලයේ අද (05) පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම බදු සංශෝධන නිසා කුඩා ව්‍යවසායකයන්ට තම භාණ්ඩ හා සේවා මත අතිරේක බදු බරක් පැටවීමට සිදුවන අතර, එම පීඩනය අවසානයේදී රටේ සාමාන්‍ය පාරිභෝගිකයා මත පැටවෙනු ඇත. මූල්‍ය සේවා මත පනවන බදු ඉහළ යාම නිසා බැංකු හා මූල්‍ය ආයතන එම අතිරේක වියදම දරා නොගන්නා අතර, ඔවුන් විවිධ සේවා ගාස්තු ඉහළ නැංවීම මගින් එම බර ගනුදෙනුකරුවන් මත පටවන බව ද ආචාර්ය ජයසිංහ පැවසීය.
'ඩිජිටල් ආර්ථිකයට දරුණු පහරක් !
තවද, විදේශීය ඩිජිටල් සේවා සහ තාක්ෂණික මෙවලම් සඳහා ද 22.5%ක බද්ධක් පැනවීම මගින් රටේ “ඩිජිටල් ආර්ථිකයට” දරුණු පහරක් වැදී ඇති බවත්, මෙරට තරුණ තරුණියන් සහ නිදහස් වෘත්තිකයන්ගේ ආදායම් මාර්ග මෙයින් දැඩි අර්බුදයකට ලක්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. වර්තමාන රජය බලයට ගෙන ඒමට වැඩිපුරම කැප වූ තරුණ ප්‍රජාවට රජය කෘතගුණ සලකන්නේ ඔවුන්ගේ ආර්ථිකය විනාශ කරමින් බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
මෙම බදු සංශෝධන යටතේ සෑම ව්‍යාපාරයකටම විකුණුම් ස්ථාන යන්ත්‍ර (POS machines) භාවිතය අනිවාර්ය කර ඇති අතර, මෙය කුඩා ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි “අතිරේක ආයෝජනයක්” සහ නඩත්තු වියදමක් බව ආචාර්යවරයා සඳහන් කළේය. මෙවැනි පියවර මගින් ව්‍යවසායකයන් අධෛර්යමත් වන අතර, අවසානයේදී නිෂ්පාදන සීමා කිරීමට හෝ ව්‍යාපාර වසා දැමීමට ඔවුන්ට සිදුවනු ඇත.
මෙලෙස ජනතාව සූරා කමින් එකතු කරන බදු මුදල් රටේ සංවර්ධනයට හෝ සමාජ ආරක්ෂණයට යොමු නොකර, රජය තමන්ගේ හිතමිතුරු මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සමාගම්වල සේවකයන්ගේ වැටුප් ගෙවීමට යොදවන බවට ද ඔහු බරපතල චෝදනාවක් එල්ල කළේය. ලෝකයේ කිසිම රටක මෙවැනි දූෂිත ක්‍රියාවලියක් සිදු නොවන බවත්, මෙය තනිකරම වංචාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ද මහා පරිමාණ වංචා දූෂණ සිදුවන බව පවසන ආචාර්ය සුපුන් ජයසිංහ, ගල්අඟුරු වංචාව නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට අප්‍රේල් මාසයේදී විදුලිය බිල 13.5% කින් ඉහළ දැමූ බවත්, මැයි මස 9 වනදා වන විට නැවතත් විදුලිය බිල ඉහළ දැමීමට සූදානම් වන බවත් අනාවරණය කළේය. එසේම, ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව මැද පෙරදිග යුද්ධය නොව, රජයේ පාලක ස්තරය විසින් සිදුකරන “මහා පරිමාණ කොමිස් ගැසීම්” සහ වංචාවන් බව ඔහු පැවසීය.
ඩීසල් බැරලයකට ඩොලර් 285ක් වැනි අසාමාන්‍ය මුදලක් ගෙවමින් සිදුකර ඇති ගනුදෙනු මගින් රජය විශාල පගාවන් ලබාගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය.
පාස්පෝට් ටෙන්ඩර්වල මහා පරිමාණ වංචා....
රටේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (e-passports) ටෙන්ඩරයේ සිදුවූ වංචා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයද කැළඹී ඇති බව පෙන්වා දුන් ආචාර්යවරයා පෝලන්තය යුරෝපා සංගමයට මේ ගැන පැමිණිලි කිරීමට සූදානම් වන බව පවසයි.
රජය මේ වනවිට සෑම අංශයකින්ම ජනතාව ගසා කන බව ද ඔහු අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව ඇමරිකානු “මහාචාර්ය ස්ටීව් හැන්ක්” පවා ප්‍රකාශ කර ඇති බව ආචාර්ය ජයසිංහ පෙන්වා දුන්නේය. 2019 වන තෙක් ලංකාවේ ආර්ථික වර්ධනය ඉන්දියාව හා සමානව පැවතිය ද, වර්තමාන වැඩපිළිවෙළින් රට තව තවත් අගාධයට ගොස් ඇති බව ඔහු පැවසීය.
2020 වසරේදී එවකට පැවති රජය බදු අඩු කර වැට් සීමාව මිලියන 300 දක්වා ඉහළ දමා නිෂ්පාදන ආර්ථිකය දිරිමත් කළ ආකාරය සිහිපත් කළ ඔහු, වර්තමාන පාලකයන් එම ප්‍රතිපත්තිය විවේචනය කළ ද සැබෑ ආර්ථික වර්ධනයක් ඇති වන්නේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමෙන් පමණක් බව කියා සිටියේය.
වර්තමාන රජයට රට දියුණු කිරීමේ කිසිදු දැක්මක් නොමැති බවත්, ඔවුන්ගේ එකම අරමුණ බලය අහිමි වීමට පෙර හැකි තාක් වංචා දූෂණ සිදුකරමින් තම මඩි තර කර ගැනීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අවසාන වශයෙන් ඔහු අවධාරණය කළේ බදු වැඩි කිරීම වෙනුවට ව්‍යවසායකයන්ට සහන සලසා, යටිතල පහසුකම් දියුණු කර, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම හරහා පමණක් රට ගොඩනැගිය හැකි බවයි.




