කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක, අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ සිද්ධිය වූ දින තමා මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියේ දුමක් වැනි දෙයක් දුටු බවත් එම ස්ථානයේ අනතුරක් සිදුවී ඇති බව වැටහුණු බවත්ය.
පසුව තමා එම ස්ථානයට ගිය බව කී සාක්ෂිකරු එම ස්ථානයේ අනතුරට ලක් වූ සංදීප් සිටිනු දුටු බවද පසුව වාහනයකට කතාකර ඔහු රෝහල කරා යැවීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.
පසුව එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළේ අර වාහනය යැයි පෙන්වූ බවත් ඒ අනුව තමා එම වාහනය ලුහුබැද ගිය බව කී සාක්ෂිකරු එය නවත්වන ලෙස තමා කෑ ගැසූ බවත් පැවසීය.
පසුව අදාළ වාහනය ඉදිරිපසින් ගොස් යතුරුපැදිය නැවැත්වීමට කටයුතු කළ බවත් පසුව යතුරුපැදියෙන් බැස තමා වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
රියැදුරු අසුනේ අව් කණ්ණාඩියක් පැළඳ කළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳගත් උස පුද්ගලයෙකු සිටිනු තමන් දුටු බවත් එම පුද්ගලයා "මම පාඨලී චම්පික. එන්න මාත් එක්ක බොරැල්ල පොලිසියට යන්න" යනුවෙන් සඳහන් කළ බවත් සාක්ෂිකරු පැවසීය.
එම පුද්ගලයා අද අධිකරණයේ සිටිනවාදයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගන් එහිදී ප්‍රශ්න කළේය.
ඒ අනුව විත්ති කූඩුවේ සිටි පාඨලී චම්පික රණවකව මෙම සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබීය.
තමා "පත්තර ටීවිවල නිතර දැක තිබූ නිසා" මේ පුද්ගලයාව තමන් හඳුනාගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙම රිය අනතුර සම්බන්ධයෙන් මෙම නඩුවේ දෙවන විත්තිකාර දිළුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන නඩුව අවසන් කර තිබෙන බව පැවසුවේය.
එකම සිද්ධියකට විත්තිකරුවන් දෙදෙනෙකු සිටිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මේ තුළින් නීතියේ ආධිපත්‍යය කෙලෙසීමක් සිදුවන බවත් චෝදනා කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අබේවික්‍රම සඳහන් කළේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුකරය මෙම නඩු විභාගයට බාධාවක් නොවන බවය.
ඉන් අනතුරුව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරුවන දිනුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළ අතර ඉන්පසුව වැඩිදුර සාක්ෂි විභාගය කල් තැබීමටද පියවර ගැනුණි.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම, අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලීසිය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත
| adaderana




