බදු දැලට හසුකර ගැනීමේ රහසිගත උත්සාහයක ආණ්ඩුව නිරත වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, වැට් බද්දට යටත්වන මිලියන 60ක සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම හරහා ආණ්ඩුව මෙම බදු පදනම පුළුල් කරගැනීමට කටයුතු කර ඇති බවයි.
“සුළු ව්‍යාපාරිකයන් වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වුණොත් ආණ්ඩුව වැඩිකරන වැට් බද්ද ගෙවන්න සිදුවන්නේ රටේ සාමාන්‍ය මහජනතාවට. ඒ අනුව භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් අසීරුවෙන් කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස ආණ්ඩුව මීට වඩා සංවේදීව බැලිය යුතුව තිබුණා,” යැයිද ඔහු සඳහන් කළේය.
මුල්‍ය සේවා මත පැනවූ 18%ක බද්ද තවත් 2.5%කින් ඉහළ දමා ඇති බවත්, ඒ අනුව මුල්‍ය සේවා මත බද්ද 20.5% දක්වා ඉහළ ගොස් ඇති බවත් මහාචාර්යවරයා මෙහිදී හෙළිදරව් කළේය.
“මේ 2.5 ක වැට් බද්ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණොත්, දකුණු ආසියාවේ මෙන්ම බටහිර ආසියාවේ මුල්‍ය සේවාවලට වැඩිම බදු අනුපාතයක් අය කරන රට බවට ශ්‍රී ලංකාව පත්වෙනවා. පොහොසත් රටවලටත් වඩා වැඩි බද්දක් යෝජනා කර තිබෙනවා. මුල්‍ය වියදම් වැඩි රටවලට ආයෝජකයෝ පැමිණෙන්නේ නැහැ,” යනුවෙන් පෙන්වා දුන් ඔහු, මෙම බදු වැඩි කිරීම හරහා ජන ජීවිතයට අවශ්‍ය සියලු දේවල මිල ඉහළ ගොස් දුප්පත්කම සහ ඇති නැති පරතරය තවදුරටත් පුළුල් වන බවට ලෝක බැංකුව පවා අනතුරු අඟවා ඇති බව අවධාරණය කළේය.
එපමණක් නොව, ඩිජිටල් ආර්ථිකය හරහා නිදහසේ සේවා සපයන දේශීය තරුණ තරුණියන්ගෙන් සෘජුව බදු අය නොකළද, ඔවුන් සේවා ලබාගන්නා යටිතල පහසුකම් මත 18%ක නව වැට් බද්දක් පැනවීමෙන් එම ක්ෂේත්‍රයේ ද කඩා වැටීමක් සිදුවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
“බදු අනුපාතික වැඩි කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදවසක ප්‍රකාශ කරලා නැහැ. ආණ්ඩුව IMF එකටත් වඩා දරුණු ලෙස ජනතාව මත අධික බදු පනවන්න කටයුතු කර තිබෙනවා. ආර්ථික විද්‍යාව පිළිබඳව හසළ දැනුමක් තිබෙන කිසිවෙක් ආණ්ඩුව තුළ නැති බවයි පෙනී යන්නේ. අනුර දිසානායක මහතාට උපදෙස් ලබාදෙන්නේ ගෝඨාභය හිටපු ජනාධිපතිට උපදෙස් දුන්න පිරිසමද කියා ප්‍රශ්නයක් මතුවෙනවා,” යැයිද මහාචාර්ය ප්‍රසන්න පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.




