මිනිස් අස්ථි ප්‍රමාණය 259 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් මැයි 7 වැනි බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට පුද්ගලයන් 254 දෙනකුට අයත් අස්ථි ගොඩ ගෙන ඇති අතර බදාදා සහ බ්‍රහස්පතින්දා (මැයි 6,7) ගොඩ ගන්නා ලද මිනිස් අස්ථි 5 න් බහුතරය කුඩා දරුවන්ගේ බවයි.
"අද ඇටසැකිලි දෙකක් ගොඩ ගත්තා. මේ වන විට මිනිස් ඇටසැකිලි 254ක් ගොඩ අරගෙන තියනවා. ඇටසැකිලි 259ක් හඳුනාගෙන තිබෙනවා. "
සමුහ සුසානයෙන් ගොඩ ගන්නා ලද තවත් පාරිහාරික වස්තුද අද අධිකරණයට බාර දුන් බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබුනි.
"ගොඩගන්නා ලද පාරිහාරික වස්තු 14ක් අද අධිකරණයට භාර දුන්නා. පාරිහාරික වස්තු අංක 82 සිට 96 දක්වා තමයි අද අධිකරණයට භාර දුන්නේ."
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමග සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසුව 2026 අප්‍රේල් 27 වැනි සදුදා පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ විය.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි. එම සියළු අස්ථි හමුවී තිබුනේ කැනීම් වළේ අඩි එක හමාරත්, දෙකත් අතර ගැඹුරක් තුලදීය.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් 2026 අප්‍රේල් 30 වැනිදා මාධ්‍ය වේදීන් හමුව හෙළි කර තිබුනේ දෙවැනි අදියරේ කැනීම් වලදී ගොඩ නොගෙන ඉතිරි වු මිනිස් අස්ථි පඤ්ඤරය තවමත් ගොඩ ගෙන නොමැති අතර එය කැනීම් භුමියේම සංරක්ෂනය කර පවතින බවයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු 96 අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.







