ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය, එළැඹෙන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (8) දැනුම්දුන්නේය.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැන්වීය.
එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන 'කුමන්ත්‍රණය' නමැති චෝදනාවෙන් විත්තිකාරියක වශයෙන් නම්කර සිටි ඩේසි ෆොරස්ට් මේ වන විට නිදහස් කර ඇති නිසා තම සේවා දායකයාට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කළේය.
ඒ අනුව සිය සේවාදායකයාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතාවලින් සඳහන් කර ඇත.
එම මූලික විරෝධතාවලට අදාළ ලේඛන ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට භාරදී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩුවෙන් මුදාහරිනු ලැබුවේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව පැවසීය.
එම තත්ත්වය විත්තිය විසින් සඳහන් කරන කරුණට අදාළ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම්දී ඇත.
කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන සඳුදා කැඳවන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා තිබේ.
ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව ලබන සඳුදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා, ඊට අදාළ විත්තියේ ස්ථාවරය අඟහරුවාදා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.
ඉන් අනතුරුව මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා පැවසීය.




