ඊයේ (මැයි) 08 වැනිදා රාත්‍රියේදී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ල්ර් පවසයි.
"ඊයේ රාත්‍රි 11.45ට කොළඹ නවලෝක රෝහලේ දී නිට්ටඹුව පොලිසිය විසින් ස්ත්‍රී දුෂණය සහ බරපතල ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇරස්ට් කළා. අද දිනයේදී අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කරනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවෙත පැවසිය.
මෙම දැරියගේ මවද (මැයි 08 වැනිදා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ දැරිය මුදලට විකිණීම යන චෝදනා මතයි.
අධිකරණ නියෝගය
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් ගම්පහ පොලිස් කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කොට තිබේ.
සැකකාර නාහිමියන් සමඟ වින්දිත දැරියගේ මව ද වහාම අත්අඩංඟුවට ගෙන අධිකරණය හමුවට පමුණවන ලෙසත්, සැකකරුවන් දෙදෙනාටම එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් සිකුරාදා (08) කරුණු දැක්වීමෙන් අනතුරුවය.
අධිකාරිය සෘජුවම පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇත්තේ ප්‍රකට හිමිනම සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ‘ඌනතාවක්’ තිබූ නිසායයි අධිකාරිය පවසයි.
අධිකාරියේ ඉල්ලීමක්
ජාතික ළමා රක්ෂණ අධිකරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ, නියෝජ්‍ය සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සහ නීති බලාත්මක කිරීමේ අංශයේ ප්‍රධානී නීතිඥ සංජීවනි අබේකෝන් ප්‍රමුඛ කණ්ඩායමක් ඊයේ (08) දින අනුරාධපුරයට ගොස් සිදුකර ඇති විමර්ශනයකින් පසුව අධිකරණය හමුවට කරුණු දක්වා ඇති අතර, මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අදාල නියෝග නිකුත් කර ඇත්තේ එයින් පසුවය.
"මේ සැකකාර හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න කියලා මෙයට පෙරත් කිහිප වතාවක්ම ඉල්ලුවා. ඒත් ඒක නිසි පරිදි සිද්ධ වුණේ නෑ. මොකද මේ අපරාධය දරුවකුට එරෙහිව සිද්ධ වුණු බරපතල අපයෝජන සිදුවීමක්. පොලිස් විමර්ශනවල යම් ඌණතාවක් පෙනෙනන්ට තිබුණ නිසයි ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනිය ප්‍රමුඛ කණ්ඩායමක් අනුරාධපුරයට ගිහින් ගරු අධිකරණයට කරුණු වාර්තා කෙරුවේ," යි එම අධිකාරියේ විමර්ශන නිලධාරිවරයකු අප හා පැවසීය.
දේශපාලන හා ආගමික බලය
සිය අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලමින් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ සැකකාර හිමිනම සතු දේශපාලන සහ ආගමික බලය මත සිද්ධිය යටපක් කර හැරීමට විවිධ පාර්ශව බලවත් උත්සාහයක් ගෙන තිබුණු බවයි.
"ඇත්තටම මීට කලින් තමයි ඒ හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න තිබුණේ. ඒත් ඒක වුණේ නෑ . අධිකාරියට සෘජුවම මැදිහත් වෙලා උසාවියට කරුණු කියන්න සිද්ධ වුණේ. ඊට පස්සේ තමයි මේ සැකකාර හාමුදුරවන්ව අත්අඩංගුවට ගන්න නියෝගය නිකුත් කෙරුනේ," යනුවෙන් හෙතෙම කීය.
අදාල බාල වයස්කාර දැරිය ගම්පහ ප්‍රදේශයේ ළැඟුම් හලක තරුණයකු සමඟ සිටියදි පොලිස් අත් අඩංගුවට ගන්නා ලද අතර, එහිදි සිදු කෙරුනු වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි දැරිය විසින් පොලීසියට හමුවේ පවසා තිබුණේ තමන්ට මුලින්ම බරපතල ලිංගික අතරවර සිදුකරන ලද්දේ අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බවයි. ඒ සඳහා සිය මවට සහ පියාට වරින් වර මුදල් ලබා දෙන ලදැයි දැරිය වැඩිදුරටත් පවසා තිබුණි. ඒ අනුව ගම්පහ පොලිස් කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් මූලික විමර්ශනයක් පවත්වා අනුරාධපුරය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කොට තිබුණද අදාල සැකකාර හිමිනම අත්අඩංඟුවට ගැනීමක් සිදු නොවුණි.
නමුත් පොලිස් අධිකාරිවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අදාල සැකකාර හිමිනමගෙන් කරුණු විමසා සටහන් කර ගත් බවද පොලිසය පවසා තිබුණි.
ලිංඟික අපචාර භික්ෂුන් රකින පොලීසියක්
අදාල සැකකාර හිමිනම අත්අඬංඟුවට නොගැනීම පිළිබඳව විමසීමේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි FUK වූට්ලර් මාධ්‍යයට පවසා තිබුණේ ‘සාක්ෂි නොමැතිව අවාට ගියාට අත්අඩංගුවට ගැනීම් සිදු කළ නොහැකි’ බවකි. නමුත් නීතී විශාරදයන් විසින් පෙන්වා දෙන්නේ නීතිඥයකුද වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ එම ප්‍රකාශය නොමග යවනසුලු මෙන්ම අනීතික එකක්වන බවකි. මන්ද යත් ළමා අපයෝජන සහ ලිංගික හිංසන සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ පුලුල් අභිමතාණුසාරි බලයක් පොලිසීය ප්‍රමුඛ විමර්ශන නිලධාරින් සතුවන බැවිනි.
දැරිය පරික්ෂාවට ලක් කළ ගම්පහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ද සනාථ කර තිබුණේ දැරිය නිශ්චිතවම බරපතල ලිංගික අතවරයකට ලක්ව ඇති බවයි.




