තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් විජෙයි වැඩබලන ආණ්ඩුකාර ආර්ලෙකාර් ඉදිරියේ නිල ප්‍රතිඥාව ලබා දෙමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
එසේ තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වු ජෝසප් විජේ ට සුබ පතමින් ජනාධිපති අනුර දිසානායක සිය නිල `X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඓතිහාසික, සංස්කෘතික සහ ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳි ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට අඛණ්ඩව සිදු කරන බැවින් අනාගතයේදී අතිමහත් ආර්ථික අවස්ථාවන් පවතින බව එහි දැක්වේ.
ශක්තිමත් ඉන්දු – ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අනුර දිසානායක සිය `X’ සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස X සටහනක් තබමින්, තමිල්නාඩුව සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ ප්‍රධාන අමාත්‍ය විජේ (@actorvijay) ට උණුසුම් සුබපැතුම් එක් කර ඇත.
එම සුබපැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.
''සමාජ සාධාරණත්වය සහ ආගමික කටයුතු විෂයයෙහි රාජ්‍ය අත පෙවීම් සිදු නොකිරීමේ ස්ථාවරය පදනම් කරගත් නව යුගයක් පිළිබඳව ඔබ විසින් අදහස් දක්වන ලදි. ඉතිහාසය අපට පෙන්වා දී ඇත්තේ වෛරය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ විසින් මිනිසුන් සැබවින්ම ජීවත් වීමට කැමති අනාගතයක් නිර්මාණය කරනු ලබන බවත්ය.
ලෝකය දැනටමත් බෙදීම්වලින් පිරී පවතී. අපේ කලාපය පුරා සිටින ජනතාව සැබවින්ම අපේක්ෂා කරන්නේ භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත් සමාජ ප්‍රගතිය, යුක්තිය සහ ස්ථාවරත්වයයි. අපව වෙන් කරන කරුණු ප්‍රමාණය ඉක්මවා අප අතර ඇති සමානතා ලක්ෂන සහිත පොදු කරුණු කාරණා බොහෝ පවතී.
මෙම නව පරිච්ඡේදය ප්‍රගතිය, කරුණාව මෙන්ම අතීතයේ අන් අය දුරස්ථභාවයක් ඇති කළ තැන්හි අවබෝධය ඇති කිරීමට අවශ්‍ය ප්‍රඥාව ද ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වෙමි.''
සම්ප්‍රදාය වෙනස් කරයි
වැඩබලන ආණ්ඩුකාර ආර්ලෙකාර් ඉදිරියේ විජෙයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව "මම සී. ජෝසප් විජෙයි" යැයි පවසමින් සිය කතාව ආරම්භ කරන විට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙත රැස්ව සිටි පිරිස් ඔල්වරසන් දුන්හ.
ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙකේ වසර 69ක පාලනය අවසන් කිරීමෙන් පසු නව රජයක් පිහිටුවා ඇති විජෙයිගේ දිවුරුම් දීමේ උත්සවයේදී මතභේදාත්මක සිද්ධියක් සිදු විය.
දෙමළ සුබ පැතුම් මුලින් ම ගායනා කරන තමිල්නාඩු රජයේ උත්සව සම්ප්‍රදායට පටහැනිව, 'වන්දේ මාතරම්' ගීතය ගායනා කළේ ය. මෙයින් පසු ඉන්දියාවේ ජාතික ගීය වන "ජන ගන මන" ගායනා කරන ලද අතර දෙමළ සුබ පැතුම් ගායනා කරන ලද්දේ ඉන් අනතුරුව ය.




