The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

කුරුණෑගල පාසල් සිසුවා මියගියේ අන්තර්ජාලයේ අණකිරීමකින් දැයි සැකයක් !

T

The Leader Desk

May 11, 2026 • 6:06 AM

කුරුණෑගල පාසල් සිසුවා මියගියේ අන්තර්ජාලයේ අණකිරීමකින් දැයි සැකයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනිසාම මේ අතිශය අවදානම් පැත්ත සැලකිල්ලට ගෙන මේවනවිට ලොව රටවල් බොහොමයක් වයසින් අඩු දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර තිබේ.
  • මේ අවදානම ඇතැම් විටෙක සියදිවි හානි කර ගැනීමෙන් සහ ඝාතනවලින්ද කෙළවර වූ අවස්ථාවන් ලොව දස දෙසින් වාර්තා වෙමින් පවතී.
  • එලෙස සිදු වූ බවට සැක කෙරෙන මරණයක් පසුගිය 8 වැනිදා අලුයම් කාලයේදී කුරුණෑගල නගරයෙන් වාර්තා විය.
  • මරණයට පත්ව තිබුණේ කුරුණෑගල ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි සඳරූ දෙව්මිණ බණ්ඩාර නමැති ශිෂ්‍යයාය.
අකුරු ප්‍රමාණය (Font Size):

එනිසාම මේ අතිශය අවදානම් පැත්ත සැලකිල්ලට ගෙන මේවනවිට ලොව රටවල් බොහොමයක් වයසින් අඩු දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර තිබේ. මේ අවදානම ඇතැම් විටෙක සියදිවි හානි කර ගැනීමෙන් සහ ඝාතනවලින්ද කෙළවර වූ අවස්ථාවන් ලොව දස දෙසින් වාර්තා වෙමින් පවතී. එලෙස සිදු වූ බවට සැක කෙරෙන මරණයක් පසුගිය 8 වැනිදා අලුයම් කාලයේදී කුරුණෑගල නගරයෙන් වාර්තා විය.

මරණයට පත්ව තිබුණේ කුරුණෑගල ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි සඳරූ දෙව්මිණ බණ්ඩාර නමැති ශිෂ්‍යයාය. ඔහු තම දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග තාවකාලිකව ලැගුම්ගෙන සිටි කුරුණෑගල උඩවල්පොල පාරේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් ක්ෂණිකව මරණයට පත්ව ඇති බව මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා විසින් සිද්ධිය වූ ස්ථානයේදීම පවත්වනු ලැබීය.

මරණයට පත්වූ ශිෂ්‍යයා දරුවන් තිදෙනෙකු සිටින පවුලක වැඩිමල් පිරිමි දරුවා වේ. ඔහුට බාල සොයුරියන් දෙදෙනෙකි. ඔහුගේ පියා වෘත්තියෙන් නීතිඥවරයෙකි. මව පාසල් ගුරුවරියකි. මෙම ශිෂ්‍යයා කුරුණෑගල ජාත්‍යන්තර පාසලක සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබමින් සිටි අතර ඔහුගේ නැගණියන් දෙදෙනාද එම පාසලේම ඉගෙනුම ලබති. සඳරූ ඉගෙනීමට ඉතා ඉහළින්ම දස්කම් පෑ අයෙකු වන බැවින් ඔහු පාසලේ ශ්‍රේණි දෙකකින් ඉහළට දැමීමටද කටයුතු කර තිබූ බව වාර්තා වේ.

ඒ දක්ෂතාවය නිසාම බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙහෙයවන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව තිබුණේ මේ අවාසනාවන්ත මරණයට මුහුණ පෑ දිනයේදීමය. සිකුරාදා උදෑසන එම විභාගයට පෙනී සිටීම සඳහා කුරුණෑගල සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත ඔහු පියා සමග යාමට නියමිතව සිට ඇත. නමුත් ඊට පැය දෙකකට පමණ පෙරදී ඔහු තම ආදරණීයයන් සහ තම වටිනා ජීවිතයද අතහැර ගොස් තිබුණේ ඉතාම ශෝචනීය අයුරිනි.

කුරුණෑගල උඩවලවල්පොළ මාර්ගයේ නාවින්න පෞද්ගලික ආරෝග්‍ය ශාලාව ආසන්නයේ මෑතකදී ඉදිකරන ලද සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ සිට බිමට වැටී මරණයට පත්ව සිටි ඔහුගේ සිරුර හමුවන්නේ අලුයම 5.00 ට පමණය. මෙම තට්ටු ගොඩනැගිල්ලේ පහළම මහලේ දිවයිනේ ප්‍රකට පෞද්ගලික ඇස් කණ්ණාඩි ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අතර ඉහළින් ඇති මහල් තුන තට්ටු නිවාස සඳහා කුලී පදනම මත ලබාදී ඇත. මරණයට පත් ශිෂ්‍යයා තම පවුලේ සාමාජිකයන් සමග මෑතකදී එහි දෙවැනි මහලේ ඇති නිවාසයක පදිංචියට පැමිණ ඇති බව පැවසේ.

මරණයට පත් ශිෂ්‍යයාගේ පියා‍ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ පවසා තිබිණි.

" අපි කුලියට ගත් මේ තට්ටු නිවසේ කාමර දෙකක මාත් බිරිඳත් දරුවොත් තාවකාලිකව පදිංචි වෙලා සිටිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සඳහාමයි අපි මේ නිවස කුලියට අරන් ආවේ. සිකුරාදා දවසේ පුතාට විභාගයක් සඳහා කොළඹ යාමට නියමිතව තිබුණා. ඒ සඳහා පුතා රාත්‍රියේ පාඩම් කරමින් සිටින බවත් මා දුටුවා. පුතා සිටි කාමරයේ පුතාගේ තනියට බිරිඳත් නිදාගෙන සිටියා .

අලුයම පහට විතර බිරිඳ නැගිටලා බලනකොට පුතා කාමරේ ඉඳලා නැහැ. ඔහු නිදහසක් අවශ්‍ය වුණාම මේ තට්ටු ගොඩනැගිල්ලේ විවෘතව තිබෙන ඉහළම මාලයට යනවා. ඒ අනුව බිරිඳ සිතලා තියෙනවා පාඩම් කරලා මහන්සි නිසා පුතා විවේකයක් ගන්න පාන්දර ගෙදර දොර ඇරගෙන උඩු මහලට යන්න ඇති කියලා. ඇය උඩු මහලට ගිහින් බලනකොට පුතා එතැන පේන්න ඉඳලා නැහැ .

නමුත් ඒ ස්ථානයේ පුතා දාගෙන හිටිය සෙරෙප්පු දෙකයි මගේ ජංගම දුරකතනයයි තිබෙනවා බිරිඳ දැකලා තියෙනවා. ඒත් එක්කම පහළ බිම් මහලේ පිරිසක් බිම වැටිලා හිටිය කෙනෙක් වටකරගෙන කෑ ගසමින් සිට තිබෙනවා. එතකොට තමයි බිරිඳ දැනගෙන තියෙන්නේ ඒ වැටිලා ඉන්නේ අපේ පුතා කියලා ".

මරණයට පත් ශිෂ්‍යයා ඉහළ මාලයේ ඔහු පැලැඳි පාවහන් යුගලද ඉතාම ක්‍රමානුකූලව ගලවා තබා ඇති ආකාරයද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාට නිරීක්ෂණය වී ඇත.එසේම එම ස්ථානයේ තිබී හමුවූ ජංගම දුරකතනය තමන්ගේ පෞද්ගලික දුරකතනය බවටද ශිෂ්‍යයාගේ පියා විසින් හඳුනාගෙන ඇත. ඔහු මරණයට පත් වීමට පෙර තම පියාගේ ජංගම දුරකතනය භාවිතා කරමින් සිට ඇති බවද මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණයට ලක්ව ඇත. පියාට එම දුරකථනය හමුවන විටද එය අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් ක්‍රියාත්මකව තිබූ බවද සඳහන් වේ.

 

එම ජංගම දුරකතනය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ සහ අපරාධ ස්ථානීය පරීක්ෂණ (SOCO) පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර සිසුවා එම ජංගම දුරකතනයෙන් කිසියම් සූදුවකට (Game) එම අවස්ථාවේදී සම්බන්ධව සිට ඇති අනාවරණය වී තිබේ. එම සූදුවේ අවසානය සියදිවි නසා ගැනීමට නියම කරන්නක් නැතිනම් මනසට අණ දෙන්නක් හෝ ඒ සඳහා පොළඹවන්නක් බවටද එහිදී අනාවරණය වී ඇත. ඒ අනුව තමන් පාලනය කරගත නොහැකිව ඔහු සිය දිවිනසා ගත්තාදැයි යන සැකයද මෙහිදී පොලිස් විමර්ශකයන්ට ඇතිවී තිබේ. පියා ලබාදුන් සාක්ෂිය අනුවද මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරුව ඇති බවද කියයි.

 

තමන්ගේ භාවිතයට ලබාදී ඇති ජංගම දුරකතනය වෙනුවට ඔහු මේ අවස්ථාවේදී භාවිතා කර තිබී ඇත්තේ පියාගේ ජංගම දුරකතනයයි. මව කාමරයේ නිදාගෙන සිටියදී ඇයට නොදැනෙන්නට ඔහු කාමරයෙන් එළියට පැමිණ ඇති බවද මරණ පරීක්ෂණයේදී ලැබී ඇති සාක්ෂි වලින් තහවුරු වී ඇත. ඔහු මියයාමට පෙර බොහෝ වේලාවක් මේ අන්තර්ජාල සූදු ක්‍රීඩාවේ නිරතව ඇති බවද පොලිස් විමර්ශනවලින් තහවුරු කරගෙන තිබේ. එම තට්ටු නිවාස ක්‍රමයේම පදිංචි කාන්තාවක්ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදී ඇත. එහිදී ඇය මෙසේ පවසා ඇත.

“ මම අලුයම 3.35 ට පමණ වැසිකිළියට යන්න කාමරයෙන් එළියට එනවාත් එක්කම දඩාස් ගාලා ශබ්දයක් පහළින් ඇසුණා. ඒ සමගම අහ් කියන ශබ්දයකුත් ඇසුණා. මම සිතුවේ පහළින් තියෙන උඩවල්පොළ පාරේ යන වාහනයක කවුරු හරි හැප්පෙන්න ඇති කියලයි. පසුව තමයි දැනගත්තේ ඒ ශබ්දයෙන් වැටිලා තියෙන්නේ අපේ දරුවා කියලා“ ඒ අනුව මේ ශිෂ්‍යයා ගොඩනැගිල්ලෙන් පහළට වැටී ඇත්තේ අලුයම 3.35 ට පමණ විය හැකි බවද පොලීසිය සඳහන් කළේය.

ශිෂ්‍යයා ඉහළ මාලයේ සිට බිමට ඇද වැටීමෙන් පසුව පළමුව ඒ බව දැක ඇත්තේ එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් බවද පැවසේ. පහළට ඇද වැටීමේදී ගොඩනැගිල්ලේ ඉදිකර තිබෙන යකඩ වැටකද ඔහු ගැටී ඇති බවද අනාවරණය වී ඇත. මේ නිසා ඔහුගේ සිරුරේ ස්ථාන රැසකට දැඩි හානි සිදුව අධික රුධිර වහනයක්ද සිදුව තිබූ ආකාරය දැකගත හැකි විය.

ශිෂ්‍යයාගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.එම්.ටී.ලෝව් නිගමනය කර ඇත්තේ ඉහළක සිට පහළට ඇද වැටීමේදී මොට ආයුධයක වැදීමෙන් හිසට , මොළයට සහ පපු පෙදෙසට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් අධික රුධිරය වහනය වී මෙම මරණය සිදුව ඇති බවය.

ජංගම දුරකථන දරුවන් අතට පත් කිරීමට පෙර දෙමාපියන් දුරදිග සිතා බැලිය යුතු බව මේ අවාසනාවන්ත මරණය තුළින් පෙන්වා දී ඇතැයි වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා ප්‍රකාශ කළේය.

මෙම මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 29 වන දින පැවැත්වීමට නියමිතය.

කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවලගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කෙරේ.

(aruna | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...