මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම්වරයාට යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් එම නියෝගය නිකුත් කළේ 2011 දෙසැම්බර් 9 දා යාපනයේදී අතුරුදහන් කරනු ලැබූ ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුව නැවත ඊයේ දින (2) විභාගයට ගත් අවස්ථාවේදීය.
“මේ ලලිත් සහ කුගන් කියන ක්‍රියාකාරිකයන් දෙදෙනා පැහැරගෙන අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට මාර්ගගත ක්‍රමයකට හෝ වෙනත් ක්‍රමයකට අනිවාර්යයෙන්ම ඉදිරි දිනයකදී සාක්ෂි ලබා දීමට සිදුවන බව ඊයේ දින (2) අධිකරණය විසින් දෙන ලද නියෝගය මගින් තහවුරු වුනා,” යි අතුරුදහන් දෙදෙනාගේ ඉරණම හෙලිකර ගැනීමට වෙහෙසෙන ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ උසාවි භූමියේදී පළාත්බද මාධ්‍යවේදීන් හා පැවසීය.
වසර ගණනාවක් තිස්සේ සාක්ෂි දීමෙන් වැළකී සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා ‘සුදු වෑන් පැහැරගැනීමේ’ අපරාධය සිදුවූ අධිකරණ කලාපයේම උසාවියකට කැඳවීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ලලිත් කුමාර් වීරරාජ් ගේ පියා සතුට පළකළේය.
“අපි අවුරුදු 14ක් තිස්සේ කොළඹ උසාවිවලට ගියා. යාපනයේ උසාවි වලට ගියා. මේ විදියට නඩු වලට ගියා. ගෝඨාභය රාජපක්ෂ තමයි ඒ කාලේ ආරක්ෂක ලේකම්. එයා කියනවා උසාවියට ඇවිල්ලා සාක්කි දෙන්න බෑ කියලා. එතකොට ඊයේ දින (2) නඩුකාර තුමා කිව්වා අනිවාර්යයෙන්ම පෙනී ඉඳලා උත්තර දෙන්න ඕනේ කියලා,” යි ආරුමුගම් වීරරාජා නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා පැවසීය.
හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ආරක්ෂක ලේකම්වරයකුද වන ගෝඨාභය රාජපක්ෂට, සත්‍ය වශයෙන්ම ආරක්ෂාව පිළිබදව ගැටළුවක් ඇතැයි සනාථ කිරීම සදහා කිසිදු ලේඛනයක් හෝ සාක්ෂියක් හෝ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර නොමැති බවත් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේ විසින් ඉකුත් දෙසැම්බරයේදී අධිකරණය හමුවේ අවධාරණය කර තිබුණි.
ලලිත් කුමාර වීරරාජු සහ කුගන් මුරුගනාදන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන හබයාස්කෝපස් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට 2019 වසරේ සැප්තැම්බර් මස 27 දා ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත එම වසරේ දී ද නොතීසියක් නිකුත් කර තිබුණි.
එල්ටීටීඊය පරාජය කළ සමයේ තමන් ආරක්ෂක ලේකම් වශයෙන් සිටි බැවින් ආරක්ෂක හේතු මත යාපනය අධිකරණයේ පෙනී සිටිය නොහැකි බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් දක්වන ලද කරුණු එවර පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඔහු යාපනයට කැඳවීම අත් හිටුවන නියෝගයක් ඒ සමයෙහි නිකුත් කළාය.
නමුත් උසාවි යාමට නියමිතව තිබුණු දිනයට පසුදාම උතුරු නැගෙනහිර පුරා සංචාරය කරමින් ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටි ගෝඨාභය රාජපක්ෂ නිරුපද්‍රිතව ආපසු කොළඹට පැමිණියේය.
එයින් දෙමාසයකට පසු ඔහු ඡන්දය දිනා ජනාධිපති පදවියේ දිවුරුම් දුන්නේය.




