ඉන්දු-ලංකා හමුදා දෙකට එරෙහිවත්, දෙමළ උරුමය වෙනුවෙනුත් අහිංසාවාදී සටනක් අරඹමින් තිලීපන් නමින් ප්‍රකට රාසයියා පාර්තීපන් 39 වසරකට ඉහතදී මාරාන්තික උපවාසයක් දියත් කළ යාපනයේ නල්ලූර්හි පසුගියදා අලුතින් වඩා හිඳුවන ලද ලෝකඩ පිළිමය පොලීසිය විසින් ගලවා ගෙන යෑම සාහසික ක්‍රියාවක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාකාරිකයකු පොලීසියට කියා තිබේ.
"මම පැහැදිලිව දෙයක් කිව්වා. ඒ පිළිමය එතැනින් අයින් කරපු එක පොලිසිය කරපු සාහසික දෙයක්. මෙතැන තිලීපන්ගේ ලේඛනාගාරයට දෙමළ ජනතාව විතරක් නෙවෙයි, සිංහල ජනතාවත් එනවා. එයාලා තිලීපන් අයියාගේ පාමුල මල් තියලා ගරු බුහුමන් කළා. සිංහල ජනතාව මට ඉදිරිපත් කළ වැදගත්ම ඉල්ලීම තමයි, තිලීපන්ගේ ජීවිත කතාව, දෙමළින් තියෙන ජීවිත කතාව සිංහල භාෂාවටත් පරිවර්තනය කරන්න ඕනේ කියන එක."
දෙමළ ජාතික ජනතා පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු සහ තිලීපන් අනුස්මරණ කමිටුවේ සාමාජිකයකු වන වර්ධරාජා පාර්තීපන් ඔක්තෝබර් 05 වැනිදා යාපනය පොලිස් නිලධාරීන්ට ඒ බව පවසා ඇත්තේ පසුගියදා නල්ලූර්හි තිලීපන්ගේ ලෝමුවා ඌර්ධ්වකාය මූර්තියක් අලුතින් ස්ථාපනය කිරීමට එරෙහිව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකදී ‘පිළිමය ඉවත් කිරීම පිළිබඳ ඔබගේ ස්ථාවරය කුමක්දැ’ යි අසන ලද පැනයට පිළිතුරු ලෙසිනි.
තිලීපන්ගේ පිළිමය එම ස්ථානයෙන් ඉවත් කිරීම දෙමළ ජනතාවගේ පමණක් නොව මේ භූමියේ ජීවත් වන සිංහල ජනතාවගේ හිත් පෑරීමක් බවට තමන් එම පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කළේයැයි වර්ධරාජා පාර්තීපන් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් පවසා තිබේ.
පිළිමය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට
පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ පොලිසිය විසින් සතියකට ඉහතදී ගලවාගෙන යනු ලැබූ තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමාව යාපනය පොලීසිය විසින් නඩු භාණ්ඩයක් ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සඳුදා (05) ඉදිරිපත් කළ බවයි. මෙම නඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අපේක්ෂාවෙන් සිටින බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.
ත්‍යාග දීපම් (පරිත්‍යාගයේ දීපය) තිලීපන් ලෙසින් දෙමළ ජන වන්දනයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිනන් කර්නල් රාසයියා පාර්තීපන් සැමරීම සඳහා ඔහුගේ මරණයේ 39 වැනි සංවත්සර සමය ආරම්භ වූ සැප්තැම්බර් 15 වැනිදා යාපනයේ නල්ලූර්හි ලෝකඩ පිළිමයක් ස්ථාපිත කළේ කවුරුන්දැයි අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසිය මේ දක්වාම අසමත්ව සිටී.
පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු සිව් දෙනකුට ඔක්තෝබර් 05 වැනිදා යාපනය පොලීසියට කැඳවීම් කර තිබූ බවයි.
"පිළිමය තිබ්බ අය ගැන අපි දන්නේ නැහැ"
පොලීසිය කළ කැඳවීම අනුව පැමිණ ප්‍රකාශ ලබා දීමෙන් පසු තිලීපන් අනුස්මරණ කමිටු සාමාජික වන වර්ධරාජා පාර්තීපන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ යාපනයේ නල්ලූර්හි අලුතින් තිලීපන්ගේ ලෝකඩ පිළිමයක් ස්ථාපිත කළේ කවුදැයි පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කළ බවයි.
"ඒ පිළිම තිබ්බ ඒවා ගැන අපි දන්නේ නැහැ කියන එකත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු අපි පත්තරවලින්, සමාජ මාධ්‍යවලින් විතරක් දැක්කා කියලත්, මේ පිළිම තියෙන වෙලාවේ අපි එතැන හිටියේ නැහැ කියලත්, ඒ ගැන අපි කවුරුත් මොකුත් දන්නේ නැහැ කියන එකත් කිව්වා. මේ පිළිම තිබ්බ අය ගැනත් අපි කවුරුත් දන්නේ නැහැ කියන එකත් කිව්වා."
ඔහු තවදුරටත් සඳහන් කළේ අවුරුදු තුනක පටන් තිලීපන් අනුස්මරණ සතියේ වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රදර්ශනය සම්බන්ධයෙන්ද පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කළ බවයි.
"2023 අවුරුද්දේ ඉඳලා අවුරුදු හතරක් තිස්සේ තිලීපන්ගේ ලේඛනාගාරය නිසි අයුරින් අවසරය අරගෙන අපි පවත්වාගෙන යනවා. ඒකෙන් තවත් දෙයක් පැහැදිලිව කිව්වා. 2023 අවුරුද්දේ ඉඳලා පොලිසිය මේ අවුරුද්ද වෙනකම් තිලීපන්ගේ ලේඛනාගාරය පවත්වාගෙන යන එක ගැන කිසිම බලපෑමක් ඇති කළේ නැහැ. කිසිම විමර්ශනයක් කළේ නැහැ. එයාලාත් ලේඛනාගාරය කරගෙන යන්න අවසරය ලබා දෙන විදිහට හැසිරිලා තියෙනවා කියන එකත් අපි එයාලාට පෙන්වලා දුන්නා."
අරමුදල් සහ උතුරු-නැගෙනහිර විරෝධතා
තිලීපන්ගේ තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන් තිලීපන් අනුස්මරණ කමිටුවේ සාමාජිකයකු වන වර්ධරාජා පාර්තීපන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කර තිබේ.
"ඒකට එකදෙයක් මම පැහැදිලිව කිව්වා, 2023 අවුරුද්දේ ඉඳන් තිලීපන්ගේ ලේඛනාගාරයට මුදල් අපි කිසිම විදේශ රටකින් ලබාගත්තේ නැහැ කියන එකත්, අපේ මාතෘ භූමියේ, මගේ පෞද්ගලික සල්ලිවලිනුත්, අපගේ නීතිඥ මණිවන්නන්ගේ පෞද්ගලික සල්ලිවලිනුත් තමයි තිලීපන්ගේ ලේඛනාගාරය සහ ප්‍රදර්ශනය පවත්වාගෙන යන්නේ කියන එකත්, කිසිදු විදේශ රටක මුදල් රැස්කිරීමක්, විදේශ රටක මුදල් ආධාර ලබාගෙන මේ වැඩසටහන කළේ නැහැ කියන එකත් පැහැදිලිව කිව්වා."
තිලීපන් නමින් ප්‍රකට රාසයියා පාර්තීපන් 39 වසරකට ඉහතදී මාරාන්තික උපවාසයක් දියත් කළ යාපනයේ නල්ලූර්හි පසුගියදා අලුතින් වඩා හිඳුවන ලද ලෝමුවා පිළිමය පොලීසිය විසින් ගලවා ගෙන යෑම හෙළා දකිමින් උතුරු නැගෙනහිර දෙපළාතේ සියලු දිස්ත්‍රික්ක තුළ සැප්තැම්බර් 28 වැනි සඳුදා විරෝධතා දියත් කර තිබුණි.
උතුරු හා නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් හා දෙමළ ජනතා නියෝජිතයන්ගේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේද සහාය හිමිව පැවැති විරෝධතාවලදී ඔවුන් බල කර තිබුණේ තිලීපන් ප්‍රතිමාව යළි ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසයි.
නගර සභාවේ අනුමැතිය සහ ආණ්ඩුවේ ස්ථාවරය
දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් අහිංසාවාදී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගදීපන් තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිනන් කර්නල් රාසයියා පාර්තීපන් සැමරීම සඳහා නල්ලූර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබූ, 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය තිබූ ස්ථානයේ ලෝකඩින් නිර්මාණය කළ අලුත් පිළිරුවක් ස්ථාපිත කරමින් ඔහුගේ මරණයේ 39 වැනි සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 15 වැනිදා අනුස්මරණය කර තිබුණි.
සැප්තැම්බර් 27 වැනි ඉරිදා පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අලුතින් ස්ථාපිත කළ එම ලෝකඩ පිළිමය රැගෙන යෑමට කටයුතු කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් ජනතා විරෝධය එල්ල වීමත් සමග සැප්තැම්බර් 27 වැනි ඉරිදා මාධ්‍ය හමුවක් පවත්වමින් යාපනය නගරාධිපති මදිවදිනි විවේකානන්දරාජා දැනුම් දී තිබුණේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) සභික සේතුකාවලර් මදුසිකාන් විසින් කරන ලද ඉල්ලීමක් පරිදි එම ස්මාරකය සැප්තැම්බර් 26 වැනිදා දක්වා පමණක් එම ස්ථානයේ තාවකාලිකව ස්ථාපිත කිරීමට සියලු පක්ෂවල අනුමැතිය යටතේ යාපනය මහ නගර සභාව විසින් අවසර ලබා දී තිබූ බවයි.
"15 වැනිදා අනුමැතිය දුන්න දවසේ ඉඳලා මට යාපනය පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිරුව කොහොමද තිබ්බේ, කොහොමද අනුමැතිය දුන්නේ කියලා දිගින් දිගටම මගෙන් ඇහුවා. මම කිව්වා, මේක තාවකාලිකව තියපු පිළිරුවක්. ඒකත් සභාව තාවකාලිකව. මේක ඔයා තනියෙන් තීරණය ගත්තා ද කියලා ඇහුවා. නැහැ, මේක සභාවේ අනුමැතියට ඉදිරිපත් කරලා, සභාවේ ඉන්න සියලු පක්ෂ මේ අවසරය ලබා දුන්නා. 26.09.2026 වෙනකම් මේ අනුමැතිය දීලා තියෙනවා කියලා මම එයාලාට දුරකතනයෙන්, මගෙන් අහපු ප්‍රශ්නයට අනුව මම උත්තර දුන්නා."
පොලිසිය විසින් පිළිරුව ඉවත් කරනු ලැබුවේ සැප්තැම්බර් 21 දා කළ කරුණු දැක්වීමකින් අනතුරුව ලැබුණු උසාවි නියෝගයකින් බවට ආණ්ඩුව පවසයි.
"පිළිරුව නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ," යි රජයේ ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන් පසුගියදා කියා සිටියේය.
ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ නීතිය ඒ සඳහා යොදාගන්නා ලද බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කරුණු දැක්වීය.
තිලීපන්ගේ ඓතිහාසික උපවාසය
පසුගිය කාලය පුරාම දකුණේ අරගලකරුවන් පෙළීමට ද යොදාගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව සටන් වැදුණු මුල්ම අරගලකරුවෙකි, තිලීපන්.
සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත්වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථානවල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තිලීපන් උපවාසයක් ආරම්භ කළේය.
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී ලුතිනන් කර්නල් තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදාය.



