ගෝලීය ආර්ථිකයේ දැවැන්තම නිදහස් වෙළෙඳ සන්ධානය වන RCEP (කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය) වෙත ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම සාර්ථක වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
සිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත නිල සංචාරය නිමා කරමින් කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී ඔහු මේ බව අනාවරණය කළේය.
ලෝක ජනගහනයෙන් සහ ආර්ථික නිමැවුමෙන් වැඩිම පංගුවක් හිමි, චීනය, ජපානය සහ ඔස්ට්‍රේලියාව වැනි බලවතුන් 15 දෙනෙකුගෙන් යුත් මෙම කලාපීය සන්ධානයට මෙරට ඇතුළත් කරගැනීමට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පූර්ණ එකඟතාව පළවී තිබීම ආර්ථික අර්බුදයක සිටින ලංකාවට තීරණාත්මක ජයග්‍රහණයකි.
අගෝස්තුවේ සිට අහස හැරෙන ඔස්ට්‍රේලියානු ගුවන් මෙහෙයුම
මෙම සංචාරයේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වනුයේ දෙරට අතර සංචාරක සහ ව්‍යාපාරික සබැඳියාව ඉහළ නැංවීම සඳහා එළඹි ගුවන් ගමන් එකඟතාවයි.
දැනට ශ්‍රීලංකන් ගුවන් සේවය පමණක් මෙල්බර්න් සහ සිඩ්නි වෙත ඍජු පියාසැරි පවත්වන පසුබිමක, ලබන අගෝස්තු මාසයේ සිට ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම්ද සෘජුවම කොළඹ බලා පියාසර කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික දිනුම ආර්ථික සත්‍යයක් කර ගන්නේ කෙසේද?
මෙම ද්විපාර්ශ්වික එකඟතාවන් කඩදාසියට පමණක් සීමා නොකර ක්ෂේත්‍රගත කිරීම ලංකාවේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ඩොලර් හිඟයට පිළියම් සෙවීමේදී, ඔස්ට්‍රේලියානු ඍජු ගුවන් ගමන් හරහා මෙරටට ගලා එන සංචාරක ආකර්ෂණය සහ RCEP හරහා විවෘත වන ආසියා-පැසිෆික් වෙළෙඳපොළ මෙරට අපනයනකරුවන්ට කදිම ක්ෂේම භූමියක් වනු ඇත.
කෙසේ වෙතත්, මෙම භූදේශපාලනික දිනුම් ආර්ථික ප්‍රතිලාභ බවට පත්කර ගැනීමට නම් දේශීය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය තවදුරටත් රැකගත යුතුව තිබේ.
(සටහන | සම්පත් ධීරසේකර)




