වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් 2026 ජුනි 03 වැනි බදාදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදුකළ 15 වැනි දිනය වු අද දිනයේත් කුඩා දරුවන්ගේ ඇට සැකිලි හමුවූ බවයි.

" අද මිනිස් ඇටසැකිලි පහක් හඳුනාගත් අතර ඇටසැකිලි හයක් ගොඩ ගත්තා. මේ වන විට මිනිස් ඇටසැකිලි 275ක් හඳුනාගෙන ඇති අතර ඉන් 272ක් ගොඩ අරගෙන තියනවා. තුන්වැනි අදියරේදී මේ වන විට මිනිස් ඇටසැකිලි 34ක් ගොඩ අරන් තියනවා. අස්ථි ගොඩවල් දෙකක් ද අද සොයාගෙන තිබෙනවා. අද ගොඩ ගත් ඇටසැකිලි අතර කුඩා දරුවන්ගේ ඇටසැකිලිත් තියනවා."
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමග සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසුව 2026 අප්‍රේල් 27 වැනි සදුදා පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ විය.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු අඛණ්ඩව දින දොළහක් සිදු කිරීමෙන් අනතුරුව කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා මැයි 9 වැනි සෙනසුරාදා තාවකාලිකව අත්හිටුවන විට මිනිස් ඇටසැකිලි 261ක් පාදා ගෙන තිබුනි. සති තුනක විවේකයෙන් අනතුරුව එහි කැනීම් නැවත ආරම්භ වුයේ 2026 ජුනි මස 1 වැනිදායි.
කැනීම් නැවත ආරම්භ කළ ජුනි 1 වැනිදා සමුහ සුසානයෙන් එක් ඇටසැකිල්ලක් පාදා ගත් අතර ජුලි 2 වැනිදා තවත් ඇටසැකිලි අටක් පාදාගෙන තිබුනි. එයින් එක ඇටසැකිල්ලක් තවෙකක් මත තිබෙනු දැකගන්නට ලැබුණු බව විමර්ශකයෝ පවසති.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද 100 ට ආසන්න පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.





