ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රහස් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැදවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගොනුකොට ඇති රිට් පෙත්සමට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන විසින් මෙම ඉල්ලීම කරන ලදී.
මෙම රිට් පෙත්සම 'අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි.
''අධිකරණ වාර්තාව අනුව සැකකරුට පහර දී අමානුෂික ලෙස හිරිහැර කරලා''
එහිදී පෙතසම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියා සිටියේ පෙත්සම්කරුගේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඔහුට පහර දී අමානුෂික ලෙස සලකා ඇති බව දැනගන්නට ලැබී ඇති බව යි.
අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව මෙම අධිකරණයේ අවධානය යොමු කරන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා,
"ස්වාමීනී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රදවා ගැනීම නීතියට පටහැණියි.
2016 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඔහු සේවය කළා.
පාස්කු ප්‍රහාරය එල්ල විමෙන් පසුව දේශීය වශයෙන් විජිත් මලල්ගොඩ කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කොමිසම, මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ද විමර්ශන සිදුකළ අතර විදේශීය පරීක්ෂණ ආයතන කිහිපයක් විසින්ද විමර්ශන සිදු කළා.
ඒ සෑම පරීක්ෂණ වාර්තාවක් මගින්ම පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධාර සහරාන් හෂිම් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකළ බවට කරුණු අනාවරණය කර තිබුණා.
ඒ කිසිදු වාර්තාවක පෙත්සම්කරු මෙම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට හෝ සහාය ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර තිබුණේ නෑ.'' යනුවෙන් සදහන් කළේ ය.
එම කිසිදු පරීක්ෂණ වාර්තාවක් මගින් පෙත්සම්කරුට එරෙහිව නිර්දේශ නිකුත් කර නොතිබූ බවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත් අඩංගුවට ගෙන රදවා ගැනීම සඳහා කිසිදු සාධාරණ සාක්ෂියක් ලබා නොමැති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහෙත් ඉකුත් පෙබරවාරි මස 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ සම්බන්ධයෙන් අයිතිවාසිකම් පෙත්සමක්...
මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණයට සම්බන්ධ කරුණක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ සම්බන්ධයෙන් අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් එහිදී කියා සිටියා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රොහාන් සිල්වා පියතුමා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත
මෙම මස පෙතසම කරුණු තහවුරු කිරීම සඳහා මෙම මස 11 වැනි දින කැඳවීමට නියම කෙරිණ
| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com




