2017 ගෝඨාභයගේ නිවසේදී පැවැති රහස් සාකච්ඡාව ප්‍රතික්ෂේප නොකරයි - "එතන තිබුණේ සාමාන්‍ය දේශපාලන කතාබහක්"
රටම පාවාදුන් පුද්ගලයෙකුගේ සාක්ෂි මත හිටපු ජනාධිපති කොටු කිරීමට හැදීම ලැජ්ජාවට කරුණක් බවට චෝදනාවක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයේදී, ඔහු සහ පිල්ලෙයාන්ගේ හිටපු ලේකම් අසාද් මවුලානා එකට සිටින සුවිශේෂී ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අද (24) අභියාචනාධිකරණය හමුවේ නිල වශයෙන් ප්‍රදර්ශනය කළේය.
මෙම ඡායාරූපය සහ 2017 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ගේ නිවසේදී අසාද් මවුලානා මුණගැසුණු බවට වන කරුණ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයේදී ප්‍රතික්ෂේප නොකළේය.
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) නාලිකාව හරහා පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ රාජපක්ෂවරුන් අතර පැවැති සබඳතාව පිළිබඳව අසාද් මවුලානා කළ බරපතළ හෙළිදරව්ව මෙතෙක් කාලයක් දේශපාලන වේදිකාවලදී ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් අද අධිකරණය හමුවේ එම හමුවීම හෝ ඡායාරූපයේ සත්‍යතාව විත්ති පාර්ශවය විසින් සෘජුවම ප්‍රතික්ෂේප නොකිරීම තුළින්, විමර්ශන සඳහා නීතිපතිවරයා සතුව පවතින සාක්ෂිවල බර තැබීම පැහැදිලි වේ. කෙසේ වෙතත්, එම සාකච්ඡාවේදී සිදුවූවා යැයි කියන කරුණු දේශපාලනඥයෙකු විසින් සිදුකරනු ලබන 'සාමාන්‍ය කතාබහක්' (Casual political conversation) පමණක් බව විත්ති පාර්ශවයේ ස්ථාවරයයි.
උසාවියේදී මතු වූ ප්‍රධාන කරුණු
මතකය අහිමි වීම සහ දේශපාලන සම්ප්‍රදාය:
අදාළ ඡායාරූපය ගත් නිශ්චිත ආකාරය සිය සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ ගේ මතකයේ නොමැති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය. දේශපාලනඥයන් හමුවීමට දිනපතා විවිධ පුද්ගලයන් දහස් ගණනින් පැමිණෙන බැවින් එවැනි ඡායාරූපයක් මතක නොතිබීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු තර්ක කළේය.
අසාද් මවුලානාගේ විශ්වාසනීයත්වය ප්‍රශ්න කිරීම:
අසාද් මවුලානා යනු දේශපාලන රැකවරණ ලබාගැනීම වෙනුවෙන් ලංකාවේ අධිකරණ පද්ධතිය, නීතිඥවරුන් සහ ප්‍රකට දේශපාලන ඝාතන සියල්ල රාජපක්ෂවරුන් පිට පැටවූ සැක සහිත පුද්ගලයෙකු බවත්, එවැනි අයෙකුගේ දිවුරුම් ප්‍රකාශ විශ්වාස කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතු බවත් විත්ති පාර්ශවය අවධාරණය කළේය.
කමිටු වාර්තාවලින් නිදහස් කිරීම:
විශ්‍රාමික විනිසුරුවරුන් සහ පාර්ලිමේන්තු කමිටු වාර්තා ගණනාවකින් ගෝඨාභය රාජපක්ෂ වැරදිකරුවෙකු කර නොමැති පසුබිමක, එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම අනීතික බව රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේය.
නීතිමය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විත්ති පාර්ශවය අනුගමනය කරන්නේ ඉතාමත් සූක්ෂම ආරක්ෂක උපක්‍රමයක් (Calculated Defence Strategy) බවයි. රජය සතුව ඡායාරූප සහ හමුවීම් පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි පවතින බැවින්, ඒවා 'බොරු' යැයි කියා පසුව අධිකරණය ඉදිරියේ අමාරුවේ වැටෙනවා වෙනුවට, "හමුවීම සැබෑවක් වුවද එහිදී කිසිදු අපරාධමය සැලසුමක් (Criminal conspiracy) සිදු නොවීය" යන්න ඔප්පු කිරීමට විත්ති පාර්ශවය උත්සාහ කරයි.
ජනාධිපති නීතිඥවරයාගේ දීර්ඝ දේශනය හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට අද දින සිය මූලික ප්‍රතිචාර දැක්වීමට කාලය මදි වූ අතර, ජූලි 06 සහ 09 යන දිනවලදී රජය වෙනුවෙන් නීතිපතිවරයා මෙම 'සාමාන්‍ය කතාබහ' යන තර්කය බිඳදමන්නේ කෙසේද යන්න මත ගෝඨාභය රාජපක්ෂ ගේ මීළඟ ඉරණම තීරණය වනු ඇත.




