බලතල බෙදීමේ අවසන් වාර්තාව ලැබෙන තෙක් ඔම්බුඩ්ස්මන්වරයා පත් කිරීම තාවකාලිකව නවතී
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ක්‍රියාත්මකයි
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වී ඇති පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශවයන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා 'විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයකු' පත්කිරීම මෙතෙක් සිදුනොකිරීමට හේතු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (26) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යොමුකළ වාචික සහ අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ප්‍රතිපත්තිමය පියවරයන් එකිනෙකට අන්තර් සම්බන්ධිත බැවින් ස්වාධීන අභිචෝදක කාර්යාලයේ බලතල ව්‍යුහය ස්ථාවර කරගැනීමෙන් පසුව ඔම්බුඩ්ස්මන්වරයා නිවැරදිව ස්ථානගත කිරීමට කටයුතු කරන බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ව්‍යුහාත්මකව ශක්තිමත් කිරීම සහ රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම ස්වාධීන කිරීම සඳහා වන නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මඟින්, මෙරට සාම්ප්‍රදායික අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ සහ අභිචෝදක (Prosecution) යාන්ත්‍රණයේ බරපතළ ව්‍යුහාත්මක වෙනසක් අපේක්ෂා කෙරේ.
අධිකරණ අමාත්‍යවරයා අනාවරණය කළ ප්‍රධාන කරුණු
ස්වාධීන අභිචෝදක කාර්යාලය සහ තාක්ෂණික කමිටුව:
අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදයන් තුරන් කිරීම සඳහා රජය වෙනුවෙන් ස්වාධීන නඩු මෙහෙයවීමේ යාන්ත්‍රණයක් ලෙස 'ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක්' ස්ථාපිත කිරීමට නව නීති හඳුන්වාදීම සහ පවතින නීති සංශෝධනය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
ඔම්බුඩ්ස්මන් පත්වීම ප්‍රමාද වීමට හේතුව:
ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යභාරය වන්නේ වත්මන් නීතිපතිවරයාගේ බලතල ක්‍රියාකලාපයෙන් සිදුවන අගතියක් පිළිබඳව සොයා බැලීමයි. එහෙත්, නව ප්‍රතිසංස්කරණ යටතේ නීතිපතිවරයාගේ බලතල සහ යෝජිත අභිචෝදක කාර්යාලයේ බලතල නිසි ලෙස වෙන් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව තාක්ෂණික කමිටුවේ අවසන් වාර්තාව මෙතෙක් ලැබී නොමැති බැවින්, ඔම්බුඩ්ස්මන්වරයා මේ මොහොතේ ස්ථානගත කරන්නේ කුමන ව්‍යුහයක් තුළද යන්න තීරණය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතාවක් පවතී.
ප්‍රතිපත්ති නැවත තක්සේරු කිරීම:
ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම ක්‍රියාකාරකම් එකිනෙකට අනුපූරක වන බැවින්, එක් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමේ ස්වභාවය මත අනෙකුත් පොරොන්දුවල කර්තව්‍යයන්ට බලපෑමක් සිදුවිය හැකිය. එම නිසා, අභිචෝදක කාර්යාලය පිහිටුවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය රජය විසින් අවසන් වශයෙන් තීරණය කිරීමෙන් පසු, ඔම්බුඩ්ස්මන්වරයාගේ බලතල සහ අවශ්‍යතාවය පිළිබඳව නැවත තක්සේරුවක් සිදුකර පත්කිරීම් සිදුකිරීමට රජය අපේක්ෂා කරයි.




