වෘත්තීය විනිසුරුවන්ගේ 'සාධාරණ අපේක්ෂාවන්' (Legitimate Expectations) බිඳ දැමීම ගැන නෛතික ප්‍රශ්න
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඌන සේවක සංඛ්‍යාවකින් පවත්වාගෙන යාමෙන් 12(1) වගන්තිය උල්ලංඡනය වන බවට චෝදනා
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත්කිරීම විධායකය විසින් ප්‍රමාද කිරීමට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය රටේ පවතින නීතියේ ආධිපත්‍යට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බව 'දිනන දකුණ සාමූහිකය' සංවිධානය නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම් අත්හිටුවීම සාධාරණීකරණය කිරීම සඳහා පහළ අධිකරණවල (මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණ) බඳවා ගැනීම්වලට ප්‍රමුඛතාවය දීමේ "සමස්ත ව්‍යූහාත්මක ගැලපීමක්" පිළිබඳ තර්කය ඉදිරිපත් කළ ද, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වශයෙන් දෝෂ සහිත මෙන්ම විධායකයේ අනිසි මැදිහත්වීම් සඳහා භයානක පූර්වාදර්ශයක් සපයන්නක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
අධිකරණයේ ස්වාධීනත්වය රැඳී පවතින්නේ විනිසුරුවරයෙකුට තීන්දුවක් ලිවීමේදී ඇති නිදහස මත පමණක් නොව, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පාලනය කරන ආයතනික රාමුවේ පවතින විනිවිදභාවය මතය. පද්ධතිමය අඩුපාඩුවලට මුවාවී ඉහළ අධිකරණවල පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම මඟින් සමස්ත යුක්ති පසිඳලීමේ ක්‍රියාවලිය මෙන්ම බලතල බෙදීමේ මූලධර්මය ද අර්බුදයට ලක්වන බව නෛතික සංවිධාන තර්ක කරයි.
දිනන දකුණ සාමූහිකය මතු කරන ප්‍රධාන නෛතික කරුණු කිහිපයක්
අධිකරණ බලපරාසයන් පටලවා ගැනීම:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XV වැනි පරිච්ඡේදය යටතේ පහළ අධිකරණ විනිසුරුවන් බඳවා ගැනීම සහ පරිපාලනය සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවට (JSC) ය. අනෙක් අතට, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පත්කිරීම් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා සතු වගකීමකි. එබැවින්, පහළ අධිකරණවල පවතින පරිපාලනමය ප්‍රමාදයන් ඉහළ අධිකරණවල ව්‍යවස්ථාපිත පත්කිරීම් අත්හිටුවීමට හේතුවක් කරගත නොහැකි බව සංවිධානය පෙන්වා දෙයි.
සාධාරණ අපේක්ෂාවන් පිළිබඳ ධර්මතාවය (Legitimate Expectation) බිඳ වැටීම:
මහාධිකරණවල සේවය කරන වෘත්තීය විනිසුරුවන් තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ දක්ෂතාවය මත නිසි කලට ඉහළ අධිකරණ වෙත උසස්වීම් ලැබෙනු ඇතැයි පවතින සාධාරණ අපේක්ෂාව මෙම අත්තනෝමතික ප්‍රමාදය නිසා අහිමි වේ. මෙමඟින් ඔවුන්ගේ ස්වාභාවික ජ්‍යෙෂ්ඨත්ව අනුපිළිවෙල අවුල් වී අනාගතයේදී අධිකරණ පද්ධතියේ ඉහළම නායකත්ව තනතුරු සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් අහිමි වීමේ අවදානමක් මතුවන බව නිවේදනයේ දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඡනය වීම:
රාජ්‍යයේම පරිපාලනමය අසාර්ථකත්වයන් හෝ පහළ අධිකරණවල පවතින විනිසුරු හිඟය, උසස්වීම් අපේක්ෂාවෙන් සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් අහිමි කිරීමට පලිහක් කරගත නොහැක. මෙම එකිනෙකට සම්බන්ධ නොවන කරුණු දෙක ගැටගැසීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර ඇති "නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය" සෘජුවම උල්ලංඡනය වන අතර, ඉහළ අධිකරණ ඌන සේවක සංඛ්‍යාවකින් පවත්වාගෙන යාමෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ අභියාචනා විභාග කිරීමේ මහජන අයිතිය ද සීමා වේ.
ඉහළ අධිකරණවල විනිසුරු මඩුල්ලේ සම්පූර්ණ සංඛ්‍යාව තවදුරටත් ප්‍රමාද නොකර සම්පූර්ණ කිරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වගකීම වහාම ඉටු කරන ලෙස 'දිනන දකුණ සාමූහිකයේ' නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව ජනාධිපතිවරයාගෙන් සහ ව්‍යවස්ථා සභාවෙන් දැඩිව ඉල්ලා සිටියි.




