පළමු DNA සහ දුරකතන විශ්ලේෂණ වාර්තා අධිකරණයට; වින්දිත දැරිය පරිවාස ආරක්ෂාව යටතේ මනෝ උපදේශනයට
මවට තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ චෝදනා; නඩුව අගෝස්තු 21 දක්වා කල් යයි
බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීමේ චෝදනා ලත් අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩුව අද (26) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සැකකාර හිමිනම පැමිණි වාහනය නීති විරෝධී ලෙස අධිකරණ පරිශ්‍රය තුළටම ඇතුළු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.
විනිසුරුවරුන්, නීතිඥයන් සහ රජයේ නිලධාරීන්ට පමණක් වාහන ඇතුළු කිරීමට අවසර ඇති සීමිත කලාපය උල්ලංඝනය කරමින්, සැකකරු රැගත් වාහනය විනිසුරුවරුන් ඇතුළු වන දොරටුවෙන් අධිකරණ භූමියට ඇතුළු කර ඇති බවට සැක කෙරෙන අතර, ඒ පිළිබඳව විමර්ශනයක් කරන්නැයි මාධ්‍යවේදී බිමල් රුහුණගේ සහ සුදත්ත තිලක්සිරි යන අය අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
සංවේදී බාලවයස්කාර අපයෝජන නඩුවක ප්‍රධාන සැකකරුවකුට අධිකරණ පරිශ්‍රය තුළදී විශේෂ වරප්‍රසාද හිමිවන්නේද යන්න පිළිබඳ සමාජයීය අවධානය යොමුව ඇති පසුබිමක, නීතිපති දෙපාර්තමේන්තුව සෘජුවම මැදිහත් වෙමින් පොලිස් පරීක්ෂණ තමන්ගේ දැඩි අධීක්ෂණයට ලක් කරන බව විවෘත අධිකරණයේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීම නීතිමය වශයෙන් තීරණාත්මක පියවරකි.
අද අධිකරණයේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු කිහිපයක්
විමර්ශන ප්‍රගතිය සහ විද්‍යාත්මක සාක්ෂි:
නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ මුල් DNA පරීක්ෂණ වාර්තාව දැනටමත් ලැබී ඇති අතර දෙවන DNA වාර්තාව ලැබීමට නියමිත බවයි. මීට අමතරව සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ සහ ඇගේ මවගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා (CDR) ලබාගෙන අධිකරණයට භාර දී ඇත.
චෝදනා පත්‍රයේ ස්වභාවය සහ වින්දිත ආරක්ෂාව:
පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 365ආ(2)ආ (බරපතළ ලිංගික අපයෝජනය) සහ 364(2)(ඉ) (ස්ත්‍රී දූෂණය) යටතේ කරුණු වාර්තා කර තිබේ. දැරියගේ මවට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ තැනැත්තන් වෙළෙඳාම් කිරීම (360ඇ) සහ අපයෝජනයට ආධාර අනුබල දීම යටතේය. වින්දිත දැරිය මේ වන විට ආරක්ෂිතව පරිවාස දෙපාර්තමේන්තු අධීක්ෂණයෙන් මනෝ උපදේශනයට යොමු කර ඇති අතර ඇය සිටින ස්ථානය රහසිගතව තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නීතිමය නියෝජනය සහ නිරීක්ෂකයෝ:
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය (හිටපු මහාධිකරණ විනිසුරු) ඉනෝකා රණසිංහ ඇතුළු නිලධාරීන් පෙනී සිටියහ. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥයන් පිරිසක් පෙනී සිටි අතර, නඩු විභාගය නැරඹීම සඳහා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි ඇතුළු ප්‍රමුඛ මහා සංඝරත්නය ද විවෘත අධිකරණයේ අසුන්ගෙන සිටියහ.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින් නඩුව එළඹෙන අගෝස්තු මස 21 වන දින දක්වා කල් තැබීය. එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සහ වින්දිත දැරියගේ මවට නියෝග කෙරිණි.




