"ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පුරප්පාඩු ප්‍රමාද වීමට හේතු වාර්තාවක් වහාම සභාවට දෙන්න"
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නාමයෝජනා යොමු කරමින් පත්කිරීම් කඩිනම් කරන ලෙස ජනපතිට නිර්දේශ
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වැනි මෙරට උසස් අධිකරණවල පවතින පුරප්පාඩු පිරවීම හිතාමතාම ප්‍රමාද කිරීමට අදාළව, ජනාධිපතිවරයා සතු රාජකාරිමය සහ ව්‍යවස්ථානුකූල වගකීම් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ පූර්ණ විවාදයක් පවත්වන ලෙස ඉල්ලා විපක්ෂය විසින් කථානායකවරයා වෙත විශේෂ පූර්ණ යෝජනාවක් (Full Motion) භාරදීමට කටයුතු කරමින් සිටියි.
මේ වන විටත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම නිල යෝජනාවට අත්සන් තබමින් පසුවන අතර, ඉදිරි සභා වාරයේදී එය කථානායකවරයා වෙත නිල වශයෙන් බාරදීමට නියමිතය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 83(1) ප්‍රකාරව, ජනාධිපතිවරයාගේ හෝ විනිසුරුවරුන්ගේ රාජකාරිමය හැසිරීම් සහ පෞද්ගලික පැවැත්ම පිළිබඳව සභාව තුළ ප්‍රශ්න කළ හැක්කේ සාමාන්‍ය ප්‍රකාශ හෝ විවාද මඟින් නොව, මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරන 'පූර්ණ යෝජනාවකින්' (Substantive Motion) පමණි. විපක්ෂය මෙම දැඩි නෛතික උපායමාර්ගයට අවතීර්ණ වීම මඟින් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින ව්‍යවස්ථාපිත ගැටුම තවදුරටත් තීව්‍ර වී ඇති බව පෙනී යයි.
විපක්ෂයේ පූර්ණ යෝජනාවේ ඇතුළත් ප්‍රධාන ඉල්ලීම් 3ක්
පුරප්පාඩු පිළිබඳ වාර්තාවක් කැඳවීම:
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින පුරප්පාඩු, ඒවා ඇති වූ නිවැරදි දිනයන්, එම පුරප්පාඩු පිරවීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර සහ දැනට පවතින දීර්ඝ ප්‍රමාදයට හේතු මොනවාද යන්න පිළිබඳව විධිමත් වාර්තාවක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව, 33(ඊ), 41(ආ) සහ 41(ඇ) යන වගන්තිවලට අනුකූලව විනිසුරුවන් පත්කිරීමට අදාළ නාමයෝජනා වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර පත්කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමටත් යෝජනා කර ඇත.
ප්‍රගති වාර්තා සහ නිර්දේශ:
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව ආරක්ෂා කිරීම උදෙසා සුදුසු නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර, මෙම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාසයක කාලයක් ඇතුළත ප්‍රගති වාර්තාවක් (Progress Report) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බැඳී සිටිය යුතු බව විපක්ෂය අවධාරණය කරයි.
මෙම පූර්ණ යෝජනාවට අදාළ අත්සන් තැබීමේ කටයුතු අවසන් වූ වහාම එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරගැනීම සඳහා කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව උසස් අධිකරණවල පවතින පුරප්පාඩු සහ ඒවා පිරවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තුවේ පූර්ණ විවාදයක් පවත්වන දිනය තීරණය කරනු ඇත.




