ව්‍යාපාරයක් අමාරුවේ වැටුණු වහාම 'පරාටේ නිතිඥයන්ට' දේපළ කුණු කොල්ලයට විකිණීම තාවකාලිකව තහනම් (Moratorium)
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට යන ව්‍යාපාරවලට CRIB ලේඛන පෙන්වා අලුතින් ණය දීම ප්‍රතික්ෂේප කිරීමට බැංකුවලට තවදුරටත් බෑ
ණය පැහැර හැරීම් හේතුවෙන් බැංකු විසින් සිදුකරනු ලබන ක්ෂණික දේපළ අත්පත් කරගැනීම් සහ වෙන්දේසි කිරීම්වලින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) ආරක්ෂා කරගැනීම සඳහා සකස් කළ නව "Rescue, Rehabilitation and Insolvency Bill" (ව්‍යාපාර ගලවා ගැනීමේ, පුනරුත්ථාපන සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත) රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙමඟින් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය මුළුමනින්ම වෙනස් වන අතර, ණය හිමියන් විසින් ව්‍යාපාර වසා දැමීමට කටයුතු කිරීමට පෙර ඒවා නැවත ගොඩනැගීමට (Rehabilitation) නෛතික අවකාශය සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
1990 අංක 4 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ, අධිකරණ නියෝගයකින් තොරව පාරිභෝගිකයන්ගේ ඇප දේපළ සෘජුවම වෙන්දේසි කිරීමට (Parat Execution) බැංකුවලට තිබූ අසීමිත නිල බලය මෙමඟින් සීමා කෙරේ. ඇතැම් බැංකු ණය පැහැර හැර දින 60ක් වැනි කෙටි කලකින් වත්කම් රාජසන්තක කිරීම නිසා ව්‍යාපාර බිඳ වැටී රැකියා අහිමි වීම වැළැක්වීමට මෙම නව නීතිය මඟින් බලය හිමිවේ.
නව පනතේ අඩංගු ප්‍රධාන තාක්ෂණික සහන 3ක්
තාවකාලික තහනම් නියෝග (Statutory Moratorium):
අසීරුතාවයට පත් ව්‍යාපාරයක් විධිමත් පුනරුත්ථාපන ක්‍රියාවලියකට ඇතුළත් වූ වහාම, අදාළ සමාගමේ වත්කම් හෝ ඇප දේපළ වෙන්දේසි කිරීමට බැංකුවලට ඇති 'පරාටේ' බලතල ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර වේ. අධිකරණ අධීක්ෂණය යටතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ නව ප්‍රතිසාධන සැලසුම් සකස් කිරීමට ව්‍යවසායකයාට මේ හරහා ප්‍රමාණවත් කාලයක් හිමිවේ.
CRIB බාධකය ඉවත් කිරීම:
ප්‍රතිසංස්කරණ වැඩසටහන්වලට එකඟ වී ඇති ව්‍යාපාරවලට අවශ්‍ය ක්‍රියාකාරී ප්‍රාග්ධනය (Working Capital) ලබාදීමේදී, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) පවතින අහිතකර වාර්තා පමණක් පදනම් කරගෙන අලුතින් ණය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට බැංකුවලට තවදුරටත් නොහැකිය. එමඟින් වැටී ඇති ව්‍යාපාරයකට නැවත නැගී සිටීමට මූල්‍ය ද්‍රවශීලතාවය ආරක්ෂා වේ.
දිගුකාලීන පොලී අනුපාත අඩු වීම:
මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අනුව, ව්‍යාපාර බංකොලොත් වීමේ ක්‍රියාවලිය වඩාත් පුරෝකථනය කළ හැකි මට්ටමකට පත්වීම සහ ණය අයකර ගැනීමේ ප්‍රතිඵල විධිමත් වීම නිසා දිගුකාලීනව බැංකුවල ණය අවදානම (Credit Risk) අඩු වේ. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ඉදිරියේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ණය පොලී අනුපාත පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නව පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන පරිදි, නිදහසින් පසු ලංකාවේ බංකොලොත්භාවය පිළිබඳ නීති පද්ධතිය (Insolvency Regime) සම්බන්ධයෙන් සිදුකෙරෙන වඩාත්ම විස්තීර්ණ සහ සර්වග්‍රාහී ප්‍රතිසංස්කරණය මෙය වන අතර, මේ හරහා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය ද ඉහළ යනු ඇත.
මුලාශ්‍රය :
New Rescue Law To Redefine Survival For Sri Lanka’s SMEs




