මීගමුවෙන් මාරු කළ රැඳවියන්ට වැලිකඩදී වධහිංසා පැමිණවූ බවට සහ සිරදඬුවම් නිම වූවන් රඳවා තබාගෙන සිටින බවට අනාවරණය වෙයි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාරය තුළට ප්‍රවේශ වී එය නිරීක්ෂණය කිරීමට අවස්ථාව නොදීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව එම කොමිෂන් සභාව නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක ඕනෑම රැඳවුම් ස්ථානයකට ඇතුළු වී පරීක්ෂා කිරීමට කොමිසමට පවතින නීතිමය අධිකාරී බලය මෙයින් බිඳවැටී ඇති බව එහි දැක්වේ.
මෙම සිදුවීමට අදාළව විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් කොමිසම හමුවට කැඳවා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ නිදහසට කරුණු සහ කොමිසමේ ප්‍රතිචාරය
පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේ මානව හිමිකම් නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට ඇතුළු වීමට අවසර නොදීමට හේතුව බන්ධනාගාර බලධාරීන් පැහැදිලි කර ඇත. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලින් පසු වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවන ලද රැඳවියන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් පිළිබඳ තොරතුරු ලැබී තිබීමත්, එම අවස්ථාවේ බන්ධනාගාරය තුළ නොසන්සුන් තාවක් පැවතීමත් ඊට හේතුව ලෙස ඔවුහු දක්වා තිබේ.
එම අවස්ථාවේ රාජකාරියේ සිටියේ නිලධාරීන් හය දෙනෙකු (06) වැනි සීමිත පිරිසක් බැවින් කොමිෂන් සභා නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වූ බව බන්ධනාගාර පාර්ශවය පවසා ඇත. නිරීක්ෂණ කණ්ඩායමට මෙම තත්ත්වය නිසි ලෙස සන්නිවේදනය නොකිරීම පිළිබඳව ඔවුහු කනගාටුව පළ කර තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර බලධාරීන් ඉදිරිපත් කළ එම හේතු සාධක සෑහීමකට පත් විය නොහැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කරයි. කුමන පදනමකින් හෝ වධහිංසා පැමිණවීම් සහ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට ඇති නෛතික බලතල අවහිර කිරීම පිළිගත නොහැකි බව කොමිසම අවධාරණය කරයි.
රැඳවියන්ට වධහිංසා පැමිණවීම සහ නීති විරෝධී රැඳවුම්
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් පසුදින වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ නිරීක්ෂණවලදී, එලෙස මාරු කර එවන ලද රැඳවියන් කිහිප දෙනෙකු තමන්ට වධහිංසා පැමිණවීම, අයුතු සැලකිලි දැක්වීම සහ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කර තිබේ. තුවාල ලබා සිටි ඇතැම් රැඳවියන්ට ඒ වන විටත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී නොතිබූ අතර, තවදුරටත් පහරදීම්වලට ලක්වීමේ බියෙන් ඔවුන් වෛද්‍යවරුන් හමුවීමට පවා මැළිකමක් දක්වන බව කොමිසම නිරීක්ෂණය කර ඇත.
මීට අමතරව, මාරු කරන ලද රැඳවියන් රඳවා සිටින නිශ්චිත ස්ථාන ඔවුන්ගේ ළඟම ඥාතීන්ට දැනුම් දීම බන්ධනාගාර පාලනාධිකාරිය විසින් ප්‍රමාද කර ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. එමෙන්ම, නියමිත සිරදඬුවම් කාලය මුළුමනින්ම අවසන් කර ඇති ඇතැම් රැඳවියන් තවමත් නිදහස් නොකර රඳවා තබාගෙන සිටින බවට කොමිසම වෙත තොරතුරු ලැබී ඇති අතර, එවැනි රඳවා තබා ගැනීම් නීතිවිරෝධී (Unlawful Detention) විය හැකි බව ද පෙන්වා දී ඇත.
කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ මානව හිමිකම් කොමිෂන් සභාව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
1- කොමිෂන් සභාවට ඕනෑම රැඳවුම් මධ්‍යස්ථානයක් පූර්ව දැනුම්දීමකින් තොරව පරීක්ෂා කිරීමට ඇති නීතිමය බලය පිළිබඳව සියලුම බන්ධනාගාර නිලධාරීන් නිසි ලෙස දැනුවත් කිරීම.
2- බන්ධනාගාර මාරු කිරීම්වලට ලක්වන රැඳවියන්ට එරෙහිව සිදුවන පළිගැනීම් සහ වධහිංසා පැමිණවීම් වහාම වැළැක්වීම.
3- රැඳවියන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ප්‍රමාදයකින් තොරව ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට පියවර ගැනීම.
4- සිරදඬුවම් කාලය අවසන් කර ඇති සිරකරුවන් ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීම සඳහා කඩිනම් ක්‍රියාවලියක් සකස් කිරීම.






