අයවැය අතිරික්තය පෙන්වන්නේ සංවර්ධන වියදම් කප්පාදු කිරීමෙන් සහ ඉන්ධන මත පැටවූ අසීමිත බදු සූරාකෑමෙන් බවට හෙළිදරව්වක්
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් අද (20) කොළඹ මල් පාර පිහිටි දේශපාලන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් වත්මන් රජය උත්සාහ දරන ව්‍යවස්ථා සංශෝධන, අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු සහ රටේ වත්මන් මූල්‍ය පරිපාලනය පිළිබඳව කරුණු රැසක් අනාවරණය කළහ.
අධිකරණය දේශපාලනීකරණය කිරීම සහ ජිනීවා අර්බුදය
මාධ්‍ය හමුව ආරම්භ කරමින් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වා දුන්නේ, විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එන යෝජනාවට නීතිඥ සංවිධාන, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සිවිල් සමාජය දැඩි විරෝධයක් පළ කර ඇති බවයි. බදු ගෙවන්නන්ගේ හෝ ක්ෂේත්‍රයේ කිසිදු ඉල්ලීමකින් තොරව, විනිවිදභාවයෙන් තොර අයුරින් රජය මෙම තීරණය ඉදිරියට ගෙන යන බව හෙතෙම පැවසීය.
විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාවේ ත්‍රිවිධ හමුදාවට සහ දේශපාලන නායකත්වයට එරෙහිව මූලාශ්‍ර 470ක් හරහා සාක්ෂි 96,215ක් එක්රැස් කර ඇති පසුබිමක, ගෝලීය අධිකරණ බලය (Universal Jurisdiction) භාවිත කරමින් ශ්‍රී ලාංකික රණවිරුවන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව මහාචාර්යවරයා මතක් කර දුන්නේය.
මීට පෙර මෙරට කීර්තිමත් අධිකරණ පද්ධතිය පෙන්වමින් විදේශීය මැදිහත්වීම් අප ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ ද, වත්මන් විධායකය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් නොපුරවා තබාගනිමින් සිදුකරන දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ලාංකීය උසාවි සතු ජාත්‍යන්තර ප්‍රතිරූපය බරපතල ලෙස බිඳවැටෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය.
රටේ සැබෑ ප්‍රමුඛතා සහ ආර්ථික කඩාවැටීම
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ විනිසුරුවරුන්ට සේවා දිගු දීම වුවද, මහජනතාව මුහුණ දෙන සැබෑ ගැටලුවලට විසඳුම් නොමැති බවයි. ආපදාවලින් පීඩාවට පත් ජනතාව තවමත් කූඩාරම්වල පසුවන බවත්, සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය පේරාදෙණිය පාලම ඇතුළු දුම්රිය මාර්ග පද්ධති තවමත් ප්‍රතිසංස්කරණය කර නොමැති බවත් හෙතෙම පැවසීය.
මධ්‍ය බැංකු අධිපතිවරයා 5% මට්ටමේ පවතිනු ඇතැයි පැවසූ උද්ධමනය මේ වන විට 7% දක්වා ඉහළ ගොස් ඇති අතර, අපනයන ආදායම 9%කින් වර්ධනය වන විට ආනයන වියදම් 26%කින් ඉහළ ගොස් වෙළඳ ශේෂය ඩොලර් බිලියන 4,000 දක්වා අහිතකර ලෙස පුළුල් වී ඇති බව ද රාජිත සේනාරත්න පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වසර අවසානයේදී ආර්ථිකය දරුණු තත්ත්වයකට පත්වන බවට පුරෝකථනය කරද්දී, ආණ්ඩුව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යවස්ථාව ‘ටිංකරින්’ කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
අයවැය අතිරික්තයේ සැබෑ රහස සහ තෙල් බදු සූරාකෑම
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, රජය ප්‍රකාශ කරන රුපියල් බිලියන 197ක අයවැය අතිරික්තය පිළිබඳව තාක්ෂණික විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය. 2026 වසරේ මුල් මාස පහ සඳහා ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) ලෙස රුපියල් බිලියන 716ක් වැය කිරීමට සැලසුම් කර තිබුණ ද, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය ආයතන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අසමත් වීම නිසා වැය කර ඇත්තේ බිලියන 226ක් හෙවත් 13%ක අවම ප්‍රගතියක් පමණක් බව හෙළි කළේය. රජය නිවැරදිව ප්‍රාග්ධන සංවර්ධන කටයුතු සිදු කළේ නම් මෙරට අයවැය තුළ බිලියන 297ක හිඟයක් පවතින බව ඔහු ගණනය කර පෙන්වීය.
එමෙන්ම බදු ආදායම රුපියල් බිලියන 521කින් වැඩි වී ඇත්තේ බදු පොලු තැබූ වංචනිකයන් 4,200 දෙනා බදු දැලට හසුකර ගැනීමෙන් නොව, ජනතාව පාරිභෝජනය කරන පෙට්‍රල් සහ ඩීසල් මත පනවා ඇති අසීමිත බදු හේතුවෙන් බව ඔහු පැවසීය. සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) දර්ශකයට අනුව ජූලි මාසයේදී රුපියල් 204ක් පමණ වන පෙට්‍රල් ලීටරයක් මෙරට ජනතාවට රුපියල් 414කට අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකන බව චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.
සේවා දිගුවේ වාසිය පුද්ගලයන් 5 දෙනෙකුට පමණයි
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් දත්ත ඉදිරිපත් කරමින් කියා සිටියේ, මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා සේවා දිගු ලැබෙන්නේ සමස්ත අධිකරණ පද්ධතියටම නොව 2026 සිට 2028 දක්වා විශ්‍රාම යාමට නියමිත වත්මන් අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකුට (05) පමණක් බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබිය යුතු විනිසුරු ධාරිතාවෙන් 23%ක් (17න් 13යි) සහ අභියාචනාධිකරණයේ 20%ක් (20න් 16යි) දැනටමත් පුරප්පාඩුව පවතිද්දී, නඩු ප්‍රමාදය වැළැක්වීමට නව විනිසුරුවන් බඳවා නොගෙන පවතින ස්ථානය පමණක් වෙනස් කිරීමට යාම ප්‍රායෝගික නොවන බව ඔහු පැවසීය. විනිසුරුවරුන්ට පමණක් සේවා කාලය දීර්ඝ කිරීමට යාම නිසා මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සෞඛ්‍ය කම්කරුවන් ද සේවා දිගු ඉල්ලන තත්ත්වයකට රට පත්ව ඇති බවත්, මෙය මුළු රාජ්‍ය සේවයම අවුලක හෙළීමක් බවත් තෙන්නකෝන් අවධාරණය කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය සුරේන් රාඝවන් සහ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිවාස් නිරෝස් ඇතුළු දේශපාලන නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.




