මිලිමීටර් 9 පිස්තෝලය ඇතුළු නඩු භාණ්ඩ 28 වැනිදා අධිකරණයට; දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර මැද සිදුවෙයි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි වැදී මියයාමේ සිද්ධියට අදාළව මාලබේ පොලිසිය මඟින් මෙතෙක් සිදුකරන ලද විමර්ශන කටයුතු බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට පවරා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර ලබා දුන්නේය.
එමෙන්ම, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවිය, පතුරම් කොපු ඇතුළු නඩු භාණ්ඩ සියල්ල එළැඹෙන ජූලි 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස, බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේය.
විමර්ශන බලතල පැවරීම සහ මෝසම
මාලබේ පොලිසිය මඟින් මීට පෙර අධිකරණය හමුවේ ගොනු කර තිබූ බී 16426/2026 අංක දරන නඩුකරය බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (20) මෝසමක් මඟින් යළි කැඳවනු ලැබීය.
එහිදී කරුණු දැක්වූ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කියා සිටියේ, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය ප්‍රකාරව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තමන් වෙත පැවරූ බලතල අනුව ඉදිරි සියලු පරීක්ෂණ කටයුතු තමන් යටතට පත් කරගන්නා බවයි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දෙමින්, අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා (Government Analyst) වෙත යවා ඊට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේය.
විවෘත තීන්දුවක් සහ අවසන් කටයුතු
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය ජූලි 17 වන දා පෙරවරුවේ මාලබේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමකට ලක්වීමෙන් මියගොස් තිබිණි. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නැගෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් (Open Verdict) ලබා දී ඇත.
රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මරණයට නිශ්චිත හේතුව ඇතුළත් පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඉදිරියේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ අතර, හිටපු පොලිස්පතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල ගෞරවාචාර මධ්‍යයේ සිදු කරන ලදී.




