- නීතිපතිවරයා මූලික විරෝධතා මතු කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව වගඋත්තරකරුවකු කිරීම සහ සම්මත වූ පනත් බලරහිත කිරීමට ඉල්ලීම නීති විරෝධී බවට තීන්දුවක්
ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව වෛද්‍ය සැත්කම් මාර්ගයෙන් පුද්ගලයන්ට සිය ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ පාර්ලිමේන්තු පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද සලකා බලනු ලැබීය.
පෙත්සම්කරුගේ කරුණු දැක්වීම සහ නීතිපතිගේ විරෝධතාව
පෙත්සම්කාර ශාන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් 2015 වසරේදී නිකුත් කරන ලද චක්‍රලේඛ හා මාර්ගෝපදේශ ප්‍රකාරව, මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් මත පුද්ගලයෙකුට සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට ඉඩ සලසා දීම නීති විරෝධී බවයි. එලෙස ලිංගිකත්වය වෙනස් කර ගන්නා පුද්ගලයන්ට අලුතින් උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කිරීම ද ඔහු අභියෝගයට ලක් කළේය.
මීට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන්, මූලික විරෝධතාවක් මතු කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ අදාළ සිදුවීම සිදු වී මාසයක් ඇතුළත වුවත්, පෙත්සම්කරු 2015 සිට 2024 දක්වා කාලය තුළ නිකුත් වූ චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් 2026 වසරේදී මෙම නඩුකරය ගොනු කර ඇති බැවින් එය සම්පූර්ණයෙන්ම කාලාවරෝධී (Time-barred) නඩුකරයක් ලෙස නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
අතරමැදි පෙත්සම්කරුවන්ගේ නෛතික තර්ක
නඩුවට අදාළව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ආචාර්ය රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුව මඟින් නීත්‍යනුකූලව සම්මත කර කථානායකවරයා අත්සන් තබා ඇති 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග නිකුත් කළ නොහැකි බවයි. එවැනි ඉල්ලීමක් ජනතා පරමාධිපත්‍යයට (Popular Sovereignty) පටහැනි බව හෙතෙම තර්ක කළේය.
කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට එරෙහිව පෞද්ගලිකව නඩු පැවරිය නොහැකි අතර වගඋත්තරකරු ලෙස නම් කළ යුත්තේ නීතිපතිවරයාව පමණක් බවයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම මඟින් පෙත්සම්කරු එම නෛතික ප්‍රතිපාදනය උල්ලංඝනය කර ඇති බැවින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ඔහු අවධාරණය කළේය.
අධිකරණයේ ප්‍රශ්න කිරීම සහ අවසන් තීන්දුව
සියලු පාර්ශවයන්ගේ දේශන සලකා බැලීමෙන් අනතුරුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පෙත්සම්කරු අමතමින්, මෙම ක්‍රියාවලිය හේතුවෙන් පෙත්සම්කරුගේ පුද්ගලික මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙවැනි චක්‍රලේඛ නිකුත් කිරීමට නීතිමය බලයක් නොමැති බවත්, ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට අවස්ථාව දීම නීති විරෝධී බවත් නැවත ප්‍රකාශ කළේය.
එහිදී අගවිනිසුරුවරයා "හරි, ඒකෙන් ඔබට තිබෙන ප්‍රශ්නය කුමක්ද?" යනුවෙන් විමසූ අතර, පෙත්සම්කරු කියා සිටියේ තමන් පෙන්වා දෙන්නේ නීතිමය බලය පිළිබඳ ගැටලුවක් පමණක් බවයි.
ඉදිරිපත් වූ සියලු නෛතික කරුණු සහ අතරමැදි පෙත්සම්කරුවන් මතු කළ මූලික විරෝධතාවන් (Preliminary Objections) පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරුගේ පුද්ගලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නිශ්චිතව ඔප්පු කිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු මත පදනම්ව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.




