The Leader News
BREAKING
Top Ad
පුවත්

සමාජ මාධ්‍යයේ අපරාධ වාර්තාකරණය සහ මීගමුව බන්ධනාගාර අර්බුදය: 'ජනහඬ' විද්වත් කතිකාවතෙන් හෙළි වූ කරුණු මෙන්න !

T

The Leader Desk

July 21, 2026 • 6:22 AM

සමාජ මාධ්‍යයේ අපරාධ වාර්තාකරණය සහ මීගමුව බන්ධනාගාර අර්බුදය: 'ජනහඬ' විද්වත් කතිකාවතෙන් හෙළි වූ කරුණු මෙන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුවැනියා වීමේ තරඟය, සංවේදීකරණ උගුල සහ නීතිය අතට ගන්නා සමාජ මාධ්‍ය හැසිරීම හමුවේ විමර්ශනවලට එල්ල වන බලපෑම්
  • 2022 පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සහ 2024 මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) වැනි නීති පද්ධතීන් රට තුළ පවතිද්දී පවා, ඊට අදාළ කොමිෂන් සභා සහ නියාමන යාන්ත්‍රණයන් සක්‍රීයව ක්‍රියාත්මක නොවීම ප්‍රධාන ගැටලුවකි.
  • කෙසේ වෙතත්, රාජ්‍ය මට්ටමින් නීති පැනවූ පමණින් මෙය පාලනය කළ නොහැකි බවත්, මහජනතාව තුළ ඩිජිටල් සාක්ෂරතාව, ස්වයන්-නියාමනය සහ 'ඩිජිටල් සහකම්පනය' (Digital Empathy) වර්ධනය විය යුතු බවත් විද්වත්හු පෙන්වා දෙති.
  • මෙවැනි අර්බුද පිටුපස බන්ධනාගාර පද්ධතියේ පවතින දැඩි තදබදය බලපාන බව එම සංවාදයේදී අවධාරණය විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීගමුව බන්ධනාගාරයේ 21කගේ මරණ, පද්ධතිමය අසාර්ථකත්වය සහ රඳවා සිටින 41,000න් 30,000ක්ම සැකකරුවන් වීමේ ආයතනික අර්බුදය



අපරාධ සහ විවිධ සංවේදී සිදුවීම් වාර්තා කිරීමේදී සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය, එමඟින් නීතිමය පද්ධතියට සහ පුද්ගල අයිතිවාසිකම්වලට එල්ල වන බලපෑම් මෙන්ම මෑතකදී සිදු වූ මීගමුව බන්ධනාගාර ගැටුම වැනි සිදුවීම් පිටුපස ඇති ආයතනික අර්බුද පිළිබඳව දීර්ඝ සමාලෝචනයක් TV Supreme නාලිකාවේ 'ජනහඬ' වැඩසටහන ඔස්සේ ඊයේ (20 සඳුදා ) රාත්‍රී විකශයවිය.

දේශපාලන විචාරක ගාමිණී වියංගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කලණි රෝෂා ධර්මසිරි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය මනෝජ් ජිනදාස සහ 'The Island' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ ගේ සහභාගීත්වයෙන් මෙම විද්වත් කතිකාවත පැවැත්විණි.

තොරතුරු ප්‍රජාතන්ත්‍රීයකරණය සහ සංවේදීකරණ උගුල

සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ තොරතුරු ලබාගැනීමේ විශාල ප්‍රජාතන්ත්‍රීයකරණයක් සිදු වී ඇති බව පිළිගන්නා අතරම, සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයට වඩා අපරාධ සිදුවීම් වාර්තා කිරීමේදී දැඩි පරිස්සමක් සහ වෘත්තීය මාධ්‍ය ධර්මතාවන් අවශ්‍ය වන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්නේය.

නමුත් වර්තමානයේ සමාජ මාධ්‍ය ජාල තුළ පවතින "පළමුවැනියා වීමේ තරඟය" සහ 'Likes' හා 'Views' ලබාගැනීමේ උත්සාහය නිසා පුවත් සංවේදීකරණය (Sensationalism) කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇත. සමාජ මාධ්‍ය ඇල්ගොරිතම මඟින් මිනිසුන්ගේ කෝපය, කුතුහලය සහ ප්‍රචණ්ඩත්වය උත්තේජනය වන අන්තර්ගතයන් ප්‍රචලිත කිරීමට උත්සාහ කරන අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදුවීම්වලට අදාළ පාර්ශ්වයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නොසිතූ ලෙස 'ද්විතීයික වින්දිතයන්' (Secondary Victims) බවට පත්වන බව හෙළි විය.

අධිකරණ බලයට බලපෑම් සහ නීතිමය රාමුව

අධිකරණයක් මඟින් නඩුවක් විභාග කර තීන්දුවක් ලබාදීමට පෙර, සමාජ මාධ්‍ය හරහා යම් යම් පුද්ගලයන් වැරදිකරුවන් ලෙස ලේබල් කිරීම සහ මහජන කෝපය යොමුකිරීම මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතියට සහ සමස්ත අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

2022 පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සහ 2024 මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) වැනි නීති පද්ධතීන් රට තුළ පවතිද්දී පවා, ඊට අදාළ කොමිෂන් සභා සහ නියාමන යාන්ත්‍රණයන් සක්‍රීයව ක්‍රියාත්මක නොවීම ප්‍රධාන ගැටලුවකි. කෙසේ වෙතත්, රාජ්‍ය මට්ටමින් නීති පැනවූ පමණින් මෙය පාලනය කළ නොහැකි බවත්, මහජනතාව තුළ ඩිජිටල් සාක්ෂරතාව, ස්වයන්-නියාමනය සහ 'ඩිජිටල් සහකම්පනය' (Digital Empathy) වර්ධනය විය යුතු බවත් විද්වත්හු පෙන්වා දෙති.

මීගමුව බන්ධනාගාර සිදුවීම සහ බන්ධනාගාර අර්බුදය

මෑතකදී සිදු වූ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් නිවැරදි තොරතුරු නිල වශයෙන් තහවුරු නොකිරීම, සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් සහ ව්‍යාකූලතා ගොඩනැඟීමට හේතු වූ බව සාකච්ඡාවේදී අදහස් දක්වමින් අනාවරණය විය.

මෙවැනි අර්බුද පිටුපස බන්ධනාගාර පද්ධතියේ පවතින දැඩි තදබදය බලපාන බව එම සංවාදයේදී අවධාරණය විය. පුද්ගලයන් 600කට පහසුකම් ඇති ස්ථානවල 2,600ක් පමණ රඳවා තැබීම, ඇප ලබාදීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් සහ අධිකරණ පද්ධතියේ ඇබෑර්තු නොපිරවීම වැනි ආයතනික අසාර්ථකත්වයන් මීට හේතු වී ඇත.

විශේෂයෙන්ම, දැනට මෙරට බන්ධනාගාරවල සිටින 41,000කට ආසන්න සමස්ත පිරිසගෙන් 30,000ක්ම තවමත් වරදකරුවන් නොවූ සැකකරුවන් වන අතර, ඔවුන්ව වරදකරුවන් වූ සිරකරුවන් සමඟ එකට රඳවා තැබීම බරපතල ප්‍රශ්නයක් බව ද පෙන්වා දෙන ලදී.

සමාජ මාධ්‍ය භාවිතයේදී පවතින ආකල්පමය සහ විනයානුකූල දුර්වලතාවලට අධ්‍යාපන පද්ධතිය හරහා විසඳුම් සෙවිය යුතු අතරම, රාජ්‍ය ආයතන, අධිකරණය සහ බන්ධනාගාර පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් පමණක් මෙවැනි ගැටලුවලට සැබෑ විසඳුම් ලබාගත හැකි බව ජනහඬ සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...