VAT මුදල් ආපසු ගෙවීමේ ප්‍රමාදයන් සහ සාම්ප්‍රදායික විගණන ක්‍රමවේද හමුවේ බදු ගෙවන්නන්ගේ විශ්වාසය ගිලිහීමේ අවදානමක්
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිසංස්කරණ මඟින් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට සමත්ව තිබුණද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) පවතින පරිපාලනමය නම්‍යශීලී නොවන ස්වභාවය සහ යාවත්කාලීන නොවන ක්‍රමවේද හේතුවෙන් බදු ගෙවන්නන් මත පැටවෙන පරිපාලනමය බර (Compliance Burden) ඉහළ යමින් පවතින බව අනාවරණය වේ.
'අරුත රිසර්ච්' (Arutha Research) ආයතනය විසින් නිකුත් කරන ලද නවතම ප්‍රතිපත්ති වාර්තාවක් (Policy Brief) පෙන්වා දෙන්නේ, ආදායම් එකතු කිරීමේ ඉලක්ක සපුරා ගනිමින් සිටියද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පද්ධති තවමත් පූර්ණ ලෙස නවීකරණය වී නොමැති බවයි.
ආදායම් වර්ධනය සහ පද්ධතිමය ගැටලු
2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් තරම් පහළ මට්ටමක පැවති රාජ්‍ය ආදායම, 2025 වසර වන විට 16.7% දක්වා වේගයෙන් ඉහළ ගියේය. බදු අනුපාත ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ දැඩි නීති ක්‍රියාත්මක කිරීම මෙයට හේතු විය. කෙසේ වෙතත්, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) පවතිද්දී පවා අතින් සිදුකෙරෙන (Manual processes) සාම්ප්‍රදායික විගණන ක්‍රමවේද තවදුරටත් භාවිත වීම නිසා බදු ගෙවන්නන්ට මෙන්ම දෙපාර්තමේන්තුවට ද අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇත.
විශේෂයෙන්ම සරල කළ එකතු කළ අගය මත බද්ද (SVAT) අහෝසි කිරීමෙන් පසුව, අගය එකතු කළ බදු (VAT) මුදල් ආපසු ගෙවීමේ (Refunds) අවසන් අදියරයන් තවමත් නිලධාරීන් විසින් අතින් සත්‍යාපනය කිරීම හේතුවෙන් අධික ප්‍රමාදයන් සිදු වේ. මෙය අපනයනකරුවන්ගේ සහ නිෂ්පාදකයන්ගේ වැඩකරන ප්‍රාග්ධනයට (Working Capital) සහ ව්‍යාපාරික මෙහෙයුම්වලට සෘජුවම බලපායි.
තොරතුරු තාක්ෂණය සහ නීති රීතිවල ප්‍රායෝගික භාවය
නවීන තාක්ෂණය භාවිත කරමින් අවදානම් සහගත බදු පැහැරහැරීම් (Risk-based assessments) හඳුනාගන්නවා වෙනුවට, නිසි ලෙස බදු ගෙවන පාර්ශවයන් පවා නිරන්තර පරික්ෂාවන්ට ලක්කිරීමට සාම්ප්‍රදායික විගණන ක්‍රම හේතු වී ඇත. එමෙන්ම, තෙවන පාර්ශවයන්ගෙන් මූල්‍ය තොරතුරු ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇති බලතල පුළුල් කිරීමේදී, පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ දත්ත පාලන රාමුවක් (Data governance) නිසි ලෙස සකස් නොවීම පිළිබඳව ද 'අරුත රිසර්ච්' අවධානය යොමු කරයි.
කොළඹ නගර සීමාවේ සිදු කෙරුණු ක්ෂේත්‍ර පරීක්ෂණ මඟින් ලියාපදිංචි නොවූ ව්‍යාපාර හඳුනාගැනීමට දැරූ උත්සාහය සහ ඉදිරිපත් කිරීමට නියමිත වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය (Privilege Card Scheme) වැනි උපක්‍රම මඟින් බදු ගෙවන්නන් අතර අසාධාරණත්වයක් ඇති විය හැකි බවට ද අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.
විශ්වාසය මත පදනම් වූ ආදායම් ඉලක්ක
කෙසේ වෙතත්, නව බඳවා ගැනීම්, රේගුව සමඟ සම්බන්ධීකරණය සහ විශේෂ විමර්ශන ඒකක පිහිටුවීම ඇතුළු පියවර ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෑත කාලයේදී සැලකිය යුතු සංවර්ධනයක් ලබා ඇති බව පිළිගැනේ.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% දක්වා ඉහළ නැංවීමේ දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීමට නම්, පාලන නීති දැඩි කිරීමට අමතරව විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතු බදු පරිපාලනයක් ඔස්සේ බදු ගෙවන්නන්ගේ විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන බව ආර්ථික විශ්ලේෂකයෝ අවධාරණය කරති.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Taxpayers Face Growing Compliance Burden amid Sri Lanka's Revenue Reform Push




