කෝප් කමිටු වාර්තා කෙළින්ම CID, අල්ලස් කොමිසම සහ නීතිපති වෙත යැවීමට පියවර; ප්‍රාදේශීය අල්ලස් කාර්යාල 23ක් පිහිටුවීමේ සැලසුම්
දීර්ඝ කාලයක් තිස්සේ විවේචනයට ලක්වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කැබිනට් මණ්ඩලය මඟින් පත්කරන ලද කමිටුව විසින් අවසන් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර සම්මත කරගත් වහාම දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි වී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කෝප් සහ කෝපා කමිටුවලට නව බලතල
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සම්බන්ධ ස්ථාවර නියෝග දෙකක් අනුමත කිරීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කෝප් කාරක සභාව යනු නාමික ස්ථානයක් නොව සැබෑ බලතල සහිත ආයතනයක් බවට පත්කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, කෝප් කාරක සභාව මඟින් අනාවරණය කරගනු ලබන මූල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳ වාර්තා සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපතිවරයා වෙත යොමුකිරීමේ බලතල මෙම නව සංශෝධන හරහා හිමිවන බව හෙතෙම පෙන්වා දුන්නේය. එමඟින් අදාළ ආයතනවලට ප්‍රමාදයකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
දූෂණ මර්දන යාන්ත්‍රණය සහ නව අධිකරණ
වත්මන් රජයේ දූෂණ මර්දන වැඩපිළිවෙළ හමුයේ රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට හෝ වින්දිතයන් බවට පත්වන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව පැවසූ අමාත්‍යවරයා, කෝප් කාරක සභාව හරහා සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව සහ නිවැරදිව රාජකාරි කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම බවත්, පොලිස් රාජකාරි පාර්ලිමේන්තුවෙන් ඉටුකිරීමට උත්සාහ නොකරන බවත් අවධාරණය කළේය.
රට තුළ දූෂණ මර්දනය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා දැනටමත් අල්ලස් නඩු විභාග කිරීම වෙනුවෙන් නව අධිකරණ 3ක් ස්ථාපිත කර ඇති බවත්, මීට අමතරව ප්‍රාදේශීය මට්ටමින් අල්ලස් කොමිසමේ කාර්යාල 23ක් පිහිටුවීමට සාකච්ඡා කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම් සහ පරීක්ෂණ
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළ රජය විසින් හෙරොයින්, ගංජා සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ටොන් 25කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
දේශපාලන බේදයකින් තොරව වංචනිකයන් සහ හොරුන් නීතිය හමුවට පැමිණවීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින් ඊට අදාළ නීතිමය පියවර ඉදිරියේදී පැහැදිලිවම දැකගත හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.




