වසරකට වැඩි කාලයක් පුරා පැවැති කැනීම්වලින් අස්ථි පොදි 29ක් සොයාගැනෙයි: එරමිණිය ගොතාගත් අයුරින් වළදැමූ සිරුරක් ගැනත් තොරතුරු
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවු විශාලතම සමුහ සුසානයෙන් මතු කරගත් මිනිස් ඇටසැකිලි ප්‍රමාණය 460 ඉක්මවා ගොස් තිබේ.
උතුරේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ ගතවු වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ දින 93 ක් පුරා සිදු කළ කැනීම් වලින් මතු කරගත් පුද්ගලයන් 467 දෙනකුට අයත් අස්ථි වලින් මිනිස් සිරුරු 444 ට අයත් ඇටසැකිලි මේ වන විටත් ගොඩ ගෙන ඇති බවයි.
තුන්වැනි අදියරේ කැනීම් සිදු කළ 39 වැනි දිනය වු ජුලි 21 වැනිදා සමුහ සුසානයෙන් අළුතින් මතුකරගත් මිනිස් ඇටසැකිලි 13 න් තුනක්ම කුඩා දරුවන්ගේය. අද දිනයේ ගොඩ ගත් මිනිස් ඇටසැකිලි ප්‍රමාණය 04 කි.
එරමිණිය බැඳ හිඳගෙන ඉන්නා ආකාරයෙන් වලදමා ඇති මිනිස් සිරුරක් ජුලි 19 වැනි ඉරිදා චෙම්මනිය සමූහ මිනීවලෙන් මතුකරගෙන තිබුනි. නීතිඥ රනිතා ඥානරාජා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ එම මිනිස් අස්ථිය තවමත් ගොඩ ගෙන නොමැති බවයි. මෙවැනිම ආකාරයෙන් වළ දමා තිබු මිනිස් සිරුරක් 2025 සැප්තැම්බර් 5 වැනිදා සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු අතර එය නම් කර තිබුනේ සමුහ සුසානයෙන් මතු කරගත් 227 වැනි මිනිස් අස්ථිය ලෙසයි.
වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ නායකත්වයෙන් සුපරීක්ෂාවෙන් කැනීම් සිදුකළ කණ්ඩායම විසින් මේ වන විටත් ගොඩ ගෙන තිබෙන මිනිස් අස්ථි අතර එක ගොඩේ අපිළිවෙලට වලදමා තිබු ඇටකටු පොදි 29ක් ද වේ.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද 130 ක් වන පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද ඇතුලත්ය.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.





