* ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2026 ප්‍රශංසාවට: එක් පියසකින් අනුමැතිය ලබාදීම" (Single-Window Clearance)වහාම ක්‍රියාත්මක කරන ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාව සතුව අධික වටිනාකමකින් යුත් ඛනිජ සම්පත් පැවැතිය ද, පැරණි රෙගුලාසි, බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදයන් සහ රාජ්‍ය ආයතන අතර පවතින විමධ්‍යගත අනුමැති ක්‍රියාවලිය හේතුවෙන් එම භූගෝලීය සම්පත් ආර්ථික වර්ධනයක් බවට පත්කර ගැනීමට නොහැකි වී ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ අපනයනකරුවෝ පෙන්වා දෙති.
රජය විසින් මෑතකදී හඳුන්වා දෙන ලද ‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2026’ (National Mineral Policy 2026) පියවරක් ලෙස අගය කරන ඛනිජ අපනයනකරුවන්ගේ මණ්ඩලය (Chamber of Mineral Exporters - CME) සඳහන් කරන්නේ, එහි සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රැඳී පවතින්නේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය මත බවයි. ප්‍රතිසංස්කරණ හරහා පුරෝකථනය කළ හැකි සහ ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය නොකළහොත්, ශ්‍රී ලංකාවට හිමි තූලනාත්මක උපායමාර්ගික වාසිය අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි.
පවත්නා ආදායම සහ වර්ධන හැකියාව
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඛනිජ අපනයන ක්ෂේත්‍රය මඟින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට ආසන්න ආදායමක් මෙරටට උපයා දෙයි. කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා පවතින නියාමන බාධක ඉවත් කළහොත් මෙම විදේශ විනිමය ආදායම දෙගුණයක් දක්වා වර්ධනය කරගත හැකි බව අපනයනකරුවන්ගේ විශ්වාසයයි.
එහිදී ප්‍රධානම බාධකය වී ඇත්තේ ගවේෂණ සහ කැනීම් බලපත්‍ර (Exploration and Mining Licences) ලබාගැනීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවයි. භූ විද්‍යාත්මක අධ්‍යයන, යන්ත්‍ර සූත්‍ර සහ මානව සම්පත වෙනුවෙන් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන සමාගම්වලට, නිශ්චිත කාලරාමුවකින් තොරව බලපත්‍ර අලුත් කරගැනීමට හෝ මෙහෙයුම් අනුමැතීන් ලබාගැනීමට වසර ගණනාවක් බලා සිටීමට සිදුවී තිබේ. කැනීම් ව්‍යාපෘති සඳහා මුලදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර, ප්‍රතිලාභ ලැබීමට වසර ගණනාවක් ගතවන බැවින් මෙවැනි ප්‍රමාදයන් දැවැන්ත මූල්‍ය අවදානමක් නිර්මාණය කරයි.
Single-Window අනුමැති ක්‍රමයේ අවශ්‍යතාව
දැනට පවතින විමධ්‍යගත අනුමැති ක්‍රියාවලිය ද අපනයනකරුවන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් (GSMB) කැනීම් බලපත්‍රය ලැබුණද, ඉඩම් පාලන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලින් වෙන වෙනම අනුමැතීන් ලබාගැනීමට සිදුවීම නිසා ව්‍යාපෘති වසර ගණනාවක් ඇණහිට පවතී.
මෙම ගැටලුවට විසඳුම් ලෙස යෝජිත ‘ඒකීය ජනේල අනුමැති යාන්ත්‍රණය’ (Single-window approval mechanism) කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත්, එය හුදෙක් ප්‍රතිපත්ති ලිපි ලේඛනවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවත් ක්ෂේත්‍රයේ නියෝජිතයෝ අවධාරණය කරති.
රාජ්‍ය භාග (Royalties) සහ තාක්ෂණික පහසුකම්
අපනයනකරුවන් පෙන්වා දෙන්නේ නිසාරණය කරන ලද ඛනිජයේ වටිනාකම මත පමණක් රාජ්‍ය භාග ගණනය කරනු වෙනුවට, සැකසීම, විදුලිය, ශ්‍රම පිරිවැය සහ ප්‍රවාහන වියදම් ද ඇතුළත් අවසන් අපනයන වටිනාකම මත රාජ්‍ය භාග අය කිරීම අසාධාරණ බවයි. එමෙන්ම, අදාළ ආදායම් අපනයනකරුවන්ට ලැබීමට පෙරම රාජ්‍ය භාග ගෙවීමට සිදුවීම ද ගැටලුවකි.
මීට අමතරව, ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් පරීක්ෂණාගාර (Accredited Testing Laboratories) ශ්‍රී ලංකාව තුළ නොමැතිවීම නිසා ඛනිජ සාම්පල විදේශයන් වෙත යැවීමට සිදුවීමෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇත.
පාරිසරික සංරක්ෂණය සහ ඉදිරි මාවත
කෙසේ වෙතත්, නව ප්‍රතිපත්තිය මඟින් 'ඛනිජ අයිතිය' සහ 'ඉඩම් අයිතිය' යනු දෙකක් ලෙස හඳුනාගැනීම සාධනීය පියවරක් ලෙස පෙන්වා දෙන අපනයනකරුවන්, කැනීම් තීරණ ගැනීමේදී විද්‍යාත්මක පදනම සහ පාරිසරික සංරක්ෂණය ප්‍රමුඛ විය යුතු බව පිළිගනී.
ගෝලීය වශයෙන් උපායමාර්ගික ඛනිජ සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක, ශ්‍රී ලංකාව සිය නියාමන පද්ධතිය කඩිනමින් නූතනකරණය නොකළහොත්, ලෝක වෙළෙඳපොළේ නැඟී එන අවස්ථාවන් අනෙකුත් තරගකාරී රටවල් විසින් අත්පත් කරගනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වැඩිදුරටත් අවධාරණය කරති.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :




