* අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යාමට නියමිත කාලසීමාව සහ ව්‍යවස්ථා සංශෝධනය අතර සම්බන්ධයක් ඇති බවට මත පළවෙයි
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව දරන උත්සාහය පිටුපස නිශ්චිත දේශපාලන උවමනාවක් පවතින්නේද යන්න පිළිබඳව නෛතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.
'අනිද්දා' ඩිජිටල් අවකාශයේ සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන විසින් 'Anidda Digital' යූ ටියුබ් නාළිකාව ඔස්සේ විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් මේ පිළිබඳව ආණ්ඩුව වෙත නෛතික හා දේශපාලන අභියෝගයක් ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුවේ ස්ථාවරය සහ පැනනගින ගැටලු
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු වෙන් වෙන් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් සකස් කරන ලද්දක් නොවන බවත්, සමස්තයක් ලෙස රටේ අධිකරණ පද්ධතියේ සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමේ පොදු අරමුණින් ගෙනෙන ලද්දක් බවත් ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, අදාළ සංශෝධනය ගෙන ඒමට තෝරාගෙන ඇති කාලරාමුව සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජන පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ චේතනාව පාරිශුද්ධ සහ යහපත් එකක් නම් මෙම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන දෙසැම්බර් මාසයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
දෙසැම්බර් මාසයේ සන්ධිස්ථානය
වර්තමාන අග්‍රවිනිශ්චයකාරවරයා එළඹෙන දෙසැම්බර් මාසයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව පැවතීම මෙම අභියෝගයට ප්‍රධාන හේතුව වී තිබේ.
අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යාමෙන් පසුව ද සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ හැකියාව ආණ්ඩුව සතුව පවතින බව පෙන්වා දෙන නීතිඥ ජනරංජන, යම් හෙයකින් දෙසැම්බර් මාසයට පෙර මෙම සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුව කඩිනම් වන්නේ නම්, එයින් පැහැදිලි වන්නේ වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයා තවදුරටත් ධූරයේ තබා ගැනීමේ පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතාවක් ආණ්ඩුවට පවතින බව යැයි වැඩිදුරටත් සඳහන් කරයි.




