"අනෙක් සැකකරුවන් තිදෙනාම ඇප මත; වසර 10ක් පැරණි විමර්ශනයක්" - ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණයට පවසයි
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් කුලී පදනම මත ලබාගත් වාහන අවභාවිත කරමින් රජයට දැවැන්ත පාඩුවක් සිදුකළ බවට වන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ ලබන ජූලි 28 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමට අදාළ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කරුණු දැක්වීම
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි.
විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කුලී පදනම මත ලබාගත් වාහන 40ක් මෙලෙස අවභාවිත කර ඇති බවයි. අදාළ වාහන අමාත්‍යවරයාගේ ඥාතීන් පස්දෙනෙකුට, ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දසදෙනෙකුට සහ අමාත්‍යාංශ අංශයේ පිරිසකට ලබාදී ඇති බවට අධිකරණයට තොරතුරු වාර්තා විය.
නීතිපති උපදෙස් ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගත් බවත්, පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් විමර්ශන නිලධාරීහු ඉල්ලා සිටියහ. මෙම සිද්ධියට අදාළව ප්‍රවාහන කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
විත්තියේ නීතිඥවරුන්ගේ තර්ක
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම විමර්ශනය 2016 වසරේ ආරම්භ වූවක් බවත් මේ වන විට වසර දහයකට ආසන්න කාලයක් ගතවී ඇති බවත්ය.
අදාළ සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙනාම මේ වන විටත් ඇප මත පසුවන බැවින්, සිය සේවාදායකයාට ද ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප දීම සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා නඩුව ලබන ජූලි 28 වනදා දක්වා කල් තැබීය.




