නිවස සහ රෝහල් පරිශ්‍රය සෝදිසි කර ඉලෙක්ට්‍රොනික උපාංග භාරයට: චෝදනා එල්ල වූ වහාම රෝහල් සේවය අත්හිටුවයි
කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි ප්‍රමුඛතම ළමා රෝහලක් වන 'Hospital for Sick Children' හි සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 44 හැවිරිදි වෛද්‍ය ඩිලාන් දිසානායක නමැත්තා ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑමට අදාළ දර්ශන හා අන්තර්ගතයන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීම, ඩවුන්ලෝඩ් කිරීම සහ ළඟ තබාගැනීමේ චෝදනා මත ටොරොන්ටෝ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටොරොන්ටෝ පොලීසියේ අන්තර්ජාල ළමා සූරාකෑම් පිළිබඳ විමර්ශන ඒකකය (Internet Child Exploitation Unit) මඟින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව ජූලි 21 වනදා අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
විමර්ශන තොරතුරු සහ ඉලෙක්ට්‍රොනික උපාංග භාරයට ගැනීම
එරට පොලිස් වාර්තාවලට අනුව මෙම විමර්ශනය 2026 ජනවාරි මාසයේදී ආරම්භ කර තිබේ. ඉන් අනතුරුව, අධිකරණ සෝදිසි වරෙන්තුවක් මත 2026 පෙබරවාරි මාසයේදී අදාළ වෛද්‍යවරයා සේවය කළ රෝහල් පරිශ්‍රය සහ ඔහුගේ පෞද්ගලික නිවස පරීක්ෂා කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
එම පරීක්ෂාවන්හිදී, නීතිවිරෝධී අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීමට සහ ඒවා ලබාගැනීමට භාවිත කළ බවට සැකකෙරෙන පරිගණකයක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයක් පොලිස් භාරයට ගැනීමට විමර්ශකයෝ සමත්ව තිබේ.
ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් ළඟ තබාගැනීම සහ අන්තර්ජාලය ඔස්සේ ඒවා ලබාගැනීම යන චෝදනා මත සැකකරු ඔන්ටේරියෝ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වෘත්තීය කටයුතුවලට අදාළ සාක්ෂි නෑ - ටොරොන්ටෝ පොලීසිය
සැකකාර වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා ඔහුගේ වෛද්‍ය වෘත්තියට හෝ රෝහලේදී ලබාදුන් සේවාවන්ට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ටොරොන්ටෝ පොලීසිය තහවුරු කරයි.
මෙය තවදුරටත් ක්‍රියාත්මක වන විමර්ශනයක් වන අතර, සැකකරුට එරෙහි චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ තහවුරු වී නොමැති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
'Hospital for Sick Children' රෝහලේ ප්‍රතිචාරය
සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් Hospital for Sick Children රෝහල සඳහන් කරන්නේ, මෙම සිදුවීම පිළිබඳව තමන් දැඩි ලෙස කම්පනයට සහ කණගාටුවට පත්වූ බවයි.
පොලිස් විමර්ශනය පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබුණු වහාම වෛද්‍ය ඩිලාන් දිසානායක ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව රෝහල් බලධාරීහු පවසති. මෙම සිදුවීම හේතුවෙන් රෝගීන්ට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට යම් අවදානමක් ඇති බවට තොරතුරු ලැබී නොමැති අතර, යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට රෝහල විසින් විද්‍යුත් තැපෑල ඔස්සේ පහසුකම් සලසා ඇත.




