The Leader News
BREAKING
Top Ad
පුවත්

වියට්නාම සෘජු ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට අලුත් එන්ජිමක් වෙයිද?

T

The Leader Desk

July 23, 2026 • 6:15 AM

වියට්නාම සෘජු ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට අලුත් එන්ජිමක් වෙයිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තු 18 සිට හෝචිමින් - කොළඹ අතර වියට්ජෙට් එයාර් (Vietjet Air) සෘජු ගුවන් වාර ආරම්භයට
  • එනම්, ගිනිකොනදිග ආසියාවේ නැඟී එන ප්‍රබලතම සංචාරක වෙළඳපොළකින් උපරිම ප්‍රයෝජන ගැනීමටත්, වැඩිදියුණු වන ගුවන් සබඳතා තිරසාර ව්‍යාපාරික ආයෝජන බවට පත්කිරීමටත් ශ්‍රී ලංකාව කෙතරම් සූදානම්ද යන්නයි.
  •   ලබන අගෝස්තු 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වියට්ජෙට් එයාර් (Vietjet Air) සමාගම දෙරට අතර සතියකට සෘජු ගුවන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
  • මෙමඟින් සංචාරකයන් වෙනත් කලාපීය ගුවන් තොටුපොළවල් හරහා වෙනත් ගුවන් යානාවලට මාරුවෙමින් (Transit) ගත කළ දීර්ඝ කාලය සහ අපහසුතාවයන් මගහැරී යන අතරම, දශක ගණනාවක් තිස්සේ මන්දගාමීව පැවැති වාණිජ සබඳතා පුළුල් කිරීමට මඟපෑදෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 මුල් අර්ධයේදී වියට්නාම සංචාරකයන් 4,000 ඉක්මවයි: බෞද්ධ වන්දනා සහ ද්විපාර්ශ්වික වෙළඳ අවස්ථා ඉහළට



හෝචිමින් නගරය සහ කොළඹ අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන සංධිස්ථානයක් ලෙස ක්ෂේත්‍රයේ පාර්ශ්වයන්ගේ පැසසුමට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, මෙම නිල සමාරම්භයට පිටුපසින් පවතින්නේ විශාල ආර්ථික කතාන්දරයකි. එනම්, ගිනිකොනදිග ආසියාවේ නැඟී එන ප්‍රබලතම සංචාරක වෙළඳපොළකින් උපරිම ප්‍රයෝජන ගැනීමටත්, වැඩිදියුණු වන ගුවන් සබඳතා තිරසාර ව්‍යාපාරික ආයෝජන බවට පත්කිරීමටත් ශ්‍රී ලංකාව කෙතරම් සූදානම්ද යන්නයි.  

ලබන අගෝස්තු 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වියට්ජෙට් එයාර් (Vietjet Air) සමාගම දෙරට අතර සතියකට සෘජු ගුවන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමඟින් සංචාරකයන් වෙනත් කලාපීය ගුවන් තොටුපොළවල් හරහා වෙනත් ගුවන් යානාවලට මාරුවෙමින් (Transit) ගත කළ දීර්ඝ කාලය සහ අපහසුතාවයන් මගහැරී යන අතරම, දශක ගණනාවක් තිස්සේ මන්දගාමීව පැවැති වාණිජ සබඳතා පුළුල් කිරීමට මඟපෑදෙනු ඇත.  

කොළඹදී සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් අමතමින් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam පෙන්වා දුන්නේ, සංචාරක වර්ධනයේ ප්‍රධානතම උත්ප්‍රේරකය සෘජු ගුවන් සබඳතා බවයි. මීට පෙර සංචාරකයන්ට පමණක් නොව දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ද තෙවන රටක් හරහා ගමන් කිරීමට සිදුවීමෙන් විශාල කාලයක් වැය කිරීමට සිදුවූ බව ඇය සඳහන් කළාය.

සංඛ්‍යාලේඛන මඟින් පෙන්නුම් කරන වර්ධනය

මෙවැනි බාධක පැවැතියද, දෙරට අතර සංචාරක ඉල්ලුම ස්ථාවර ලෙස වර්ධනය වී ඇති බව දත්ත මඟින් තහවුරු වේ. 2026 වසරේ මුල් අර්ධය වන විට පමණක් වියට්නාම සංචාරකයන් 4,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එය 2025 සමස්ත වසර තුළම වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩිය. සෘජු ගුවන් සේවා ඇරඹීමටත් පෙර පෙන්නුම් කළ මෙම ධනාත්මක ප්‍රවණතාව, නව ගුවන් සේවා සමඟ තවදුරටත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

මේ අතර, 2026 වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.14 ඉක්මවා ඇත. ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය වැනි සාම්ප්‍රදායික වෙළඳපොළවල් තවදුරටත් පෙරමුණේ පසුවුවද, ගිනිකොනදිග ආසියාව දෙසට අවධානය යොමුකිරීම මඟින් සංචාරක ක්ෂේත්‍රය විවිධාංගීකරණය කරගැනීමටත්, සාම්ප්‍රදායික වෙළඳපොළවල සිදුවන උච්චාවචනයන් හමුවේ පවතින අවදානම අවම කරගැනීමටත් ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.

එසේම වියට්නාමය ද ශ්‍රී ලාංකිකයන් සඳහා හොඳ ගමනාන්තයක් බවට පත්වෙමින් තිබේ. 2025 වසරේදී වියට්නාමය ජාත්‍යන්තර සංචාරකයන් මිලියන 22ක් පිළිගෙන ඇති අතර, ඊට ශ්‍රී ලාංකික සංචාරකයන් 14,000කට වැඩි පිරිසක් ඇතුළත් විය. මෙම ද්විපාර්ශ්වික ගමනාගමනය දෙරටේම ගුවන් සමාගම්, සංචාරක සංවිධායකයන්, ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය සහ ආයෝජකයන්ට අලුත් වාණිජ අවස්ථා උදාකර දෙයි.

බෞද්ධ වන්දනා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවණතාව

ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ උරුමය සහ පූජනීය ස්ථාන පිළිබඳව වියට්නාම සංචාරකයන් තුළ දැඩි උනන්දුවක් පවතින බව තානාපතිනිය වැඩිදුරටත් හෙළි කළාය.


මෙම ඉල්ලුම මඟින් සාම්ප්‍රදායික වෙරළබඩ සංචාරක ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය, විශේෂිත සංස්කෘතික හා ආගමික චාරිකා, උරුමයන් පදනම් කරගත් සංචාර මෙන්ම ග්‍රාමීය මට්ටමේ සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට විශාල ඉඩකඩක් විවර වේ.

දිගුකාලීන උපායමාර්ගික අවශ්‍යතාව

සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම මඟින් හෝටල්, ආපනශාලා, ප්‍රවාහන සේවා, සිල්ලර වෙළඳාම සහ අනුබද්ධ සේවා අංශයන්හි ප්‍රබල ප්‍රබෝධයක් ඇතිකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, වෙළඳ හා ආයෝජන සාකච්ඡා සක්‍රිය වීම තුළින් දෙරට අතර ව්‍යාපාරික පදනම ද ශක්තිමත් වනු ඇත.

කෙසේ වෙතත්, සෘජු ගුවන් සේවයක් ආරම්භ කිරීම පමණක් තිරසාර සාර්ථකත්වයකට ප්‍රමාණවත් නොවන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. මෙම වර්ධනය පවත්වාගෙන යාම සඳහා ඉලක්කගත වෙළඳපොළ ප්‍රචාරණ වැඩසටහන්, තරගකාරී සංචාරක පැකේජ මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සමීප සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව, මෙම නව ගුවන් මාර්ගය සරල ගුවන් සේවා පුවතකට එහා ගිය, ශ්‍රී ලංකාවේ සංචාරක ආර්ථිකය විවිධාංගීකරණය කිරීමටත්, ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමටත් ලැබුණු මූලෝපායික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

(සටහන | සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :

Vietnam Route Signals Sri Lanka’s Next Tourism Growth Engine

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...