'නීතිය' සිංහල සඟරාව නැවත එළිදැක්වීමේ උත්සවයේදී මහාචාර්යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති පර්යේෂණ සහ ශාස්ත්‍රීය කටයුතු ප්‍රවර්ධනය කිරීම උදෙසා විශේෂ භාරකාර අරමුදලක් (Trust Fund) පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නීති විද්‍යාල පරිශ්‍රයේදී පැවැති 'නීතිය' සිංහල ශාස්ත්‍රීය සඟරාව නැවත එළිදැක්වීමේ විශේෂ උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
නීතිපති, ජනාධිපති නීතිඥ පරිඳ රණසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ නීති විද්‍යාලයේ විදුහල්පති, ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
භාරකාර අරමුදල සහ ශාස්ත්‍රීය දායකත්වය
ශ්‍රී ලංකා නීති පද්ධතිය සහ නීතිය සම්බන්ධයෙන් තමන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ 10කට වැඩි ප්‍රමාණයෙන් ලැබෙන කර්තෘ භාගය (Royalties) මෙම යෝජිත භාරකාර අරමුදල වෙත බැර කිරීමට කටයුතු යොදන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මෙහිදී පැවසීය.
මෙම අරමුදල පාලනය කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපතිවරයා භාරකරුවන් (Trustees) ලෙස පත්කිරීමට යෝජිතය.
නීති අධ්‍යාපනය හුදෙක් පන්ති කාමර දේශනවලට පමණක් සීමා නොකර, සාහිත්‍ය, සංස්කෘතික සහ ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් ඔස්සේ නීති විද්‍යාලය තුළ නව පිබිදීමක් ඇතිකිරීමට විදුහල්පති ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් ගෙන ඇති නායකත්වය ද මහාචාර්යවරයාගේ ඇගයීමට ලක්විය.
'නීතිය' සඟරාවේ පුනරුදය සහ නූතන නීති ක්ෂේත්‍රය
1958 වසරේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත්කරන ලද 'නීතිය' සිංහල සඟරාව නොවැළැක්විය හැකි හේතූන් මත කලින් කලට අත්හිටුවීමට සිදුවූ අතර, 2024 වසරේදී එය නැවත ආරම්භ විය.
කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) වැනි ලෝකයේ වේගයෙන් වර්ධනය වන නව නීතිමය ක්ෂේත්‍ර පිළිබඳ විශ්ලේෂණාත්මක ලේඛනයන්ට මෙම සඟරාව ඔස්සේ ඉඩකඩ සැලසෙන බව පෙන්වා දුන් මහාචාර්ය පීරිස්, අධිකරණ තීන්දු පිළිබඳ විවේචනාත්මක අධ්‍යයනය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට ශාස්ත්‍රීය දායකත්වය ලබාදීම නීති විද්‍යාලය වැනි ආයතනයක ප්‍රධාන වගකීමක් බව ද අවධාරණය කළේය.





