පැරණි දූෂිත ක්‍රමවේදයන් නැවත ස්ථාපනය වීමේ අවදානමක් ගැන රේගු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ මත්ද්‍රව්‍ය, විදේශීය සිගරට්, නීතිවිරෝධී මත්පැන් සහ ස්මාර්ට් ජංගම දුරකථන ඇතුළු විශාල වටිනාකමකින් යුත් භාණ්ඩ තොග මෙරටට ජාවාරම් කිරීමට දැරූ උත්සාහයන් රැසක් සාර්ථකව වටලමින් රාජ්‍ය ආදායම සුරැකීමට කැපවී කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු රේගු නිලධාරීන් පිරිසක් වෙනත් ස්ථාන කරා මාරුකර යැවීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
මෑතකදී ධුරයට පත්වූ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඇතැම් රේගු වෘත්තීය සමිති නියෝජිතයන් සහ පටු අභිමතාර්ථ සහිත පුද්ගලයන් කිහිපදෙනෙකුගේ බලපෑම් හා නොමග යැවීම් මත මෙම ස්ථාන මාරුවීම් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවට රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් තොරතුරු අනාවරණය වී තිබේ.
පැරණි ක්‍රමවේද නැවත කරළියට ඒමේ අවදානම
ගුවන්තොටුපළ සේවයෙන් ඉවත් කිරීමට යෝජිත මෙම නිලධාරීන් මෑත කාලය පුරාම මහා පරිමාණ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දෙමින් දැඩි කැපවීමෙන් කටයුතු කළ පිරිසකි.
එම නිලධාරීන් වෙනත් ස්ථාන වෙත මාරු කර යවා, ඒ වෙනුවට මින් පෙර විවිධ ව්‍යාපාරික හා පෞද්ගලික හිතවත්කම් මත කටයුතු කළ බවට චෝදනා ලැබූ නිලධාරීන් පිරිසක් නැවතත් එම සංවේදී තනතුරුවලට පත්කිරීමට උත්සාහ දරන බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. පසුගිය කාලසීමාවන්හිදී ගුවන්තොටුපළ තුළ ක්‍රියාත්මක වූ දූෂිත ක්‍රමවේදයන් සහ නීතිවිරෝධී ජාවාරම්වලට නැවතත් ඉඩකඩ සැලසීම මෙම සූදානම පිටුපස පවතින මූලික අරමුණද යන්න පිළිබඳව ද දැඩි සැකයක් මතුව ඇත.
රජයේ අවධානය සහ ජාතික ආරක්ෂාව
රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන තුළ පවතින දූෂණය පිටුදැකීම උදෙසා වත්මන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති පසුබිමක, සිදුවීමට යන මෙවැනි අත්තනෝමතික ස්ථාන මාරුවීම් හේතුවෙන් සමස්ත රේගු පද්ධතියේම අවංක නිලධාරීන්ගේ සේවා උද්‍යෝගය බිඳවැටීමට ඉඩ ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වැඩිදුරටත් සඳහන් කරති.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඉල්ලීම :
කටුනායක ගුවන්තොටුපළ වැනි ජාතික වශයෙන් අතිශය සංවේදී ස්ථානයක සිදුවීමට යන මෙම ස්ථාන මාරුවීම් පිටුපස ඇති සැබෑ තත්ත්වය පිළිබඳව වහාම සොයා බලන ලෙසත්, ජාතික ආරක්ෂාවට සහ රාජ්‍ය ආදායමට හානි වන අයුරින් සිදුවීමට යන ක්‍රියාවලිය වළක්වා ගැනීමට රජය සහ අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවත් අදාළ පාර්ශ්ව අවධාරණය කරයි.




