පාසල් වාරය සහ විභාගය අතර දින 3ක පරතරය ගැන සොයා බලන්නැයි රජයේ නීතිඥවරියට උපදෙස්
මෙවර අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මාස දෙකක කාලයකින් කල් දමන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරවම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (ජූලි 23) තීන්දු කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම
උසස් පෙළ විභාගයට ප්‍රථම සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසුන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව කරුණු දක්වමින් කියා සිටියේ, දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හමුවේ බදාදා දිනවල රජයේ නිවාඩු ප්‍රකාශයට පත් කිරීම නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව පැවැත්විය යුතු අනිවාර්ය පාසල් දින සංඛ්‍යාව ආවරණය කිරීමට නොහැකි වූ බවයි.
කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පෙන්වා දුන්නේ මෙවර විභාගය සඳහා සිසුන් 378,000ක් පමණ ලියාපදිංචි වී සිටියදී නව දෙනෙකු පමණක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම පෙත්සම්කාර එක් ශිෂ්‍යයකුගේ පාසල් පැමිණීම 7.2%ක් වැනි අඩු මට්ටමක පවතින බවත්, විභාගය කල් දැමීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට දැඩි අගතියක් සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.
අධිකරණයේ නියෝගය සහ නීතිමය පදනම
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, ලක්ෂ සංඛ්‍යාත සිසුන් පිරිසක් මුහුණ දෙන මෙම විභාග ක්‍රියාදාමයට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් පෙත්සම නිෂ්ප්‍රභ කරන බවයි.
එමෙන්ම, මෙවර උසස් පෙළ අධ්‍යයන වර්ෂය අවසන් වන දිනය සහ විභාගය ආරම්භ වන දිනය අතර පවතින්නේ දින තුනක කාලයක් පමණක් බව අධිකරණය හමුවේ අනාවරණය වූ අතර, එමඟින් සිසුන්ට යම් අපහසුතාවක් වන්නේ නම් ඊට සුදුසු සහනයක් සැලසීමේ හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙන ලෙස විනිසුරු මඬුල්ල විසින් රජයේ නීතිඥවරියට උපදෙස් දෙන ලදී.
විභාග කාලසටහන සහ අධිකරණ නිරීක්ෂණය:
විභාග ක්‍රියාදාමය යථාතත්ත්වයට පත්වීම පිළිබඳව අධිකරණය සතුටට පත්වන බව ප්‍රකාශ කළ සභාපති විනිසුරුවරයා, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග පැවැත්වෙන නිශ්චිත දින වකවානු පිළිබඳව සිසුන්ට පූර්ව අවබෝධයක් සහ නිශ්චිතතාවක් තිබීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.




