ජනාධිපති ලේකම් කාර්යාලයේ CSR ව්‍යාපෘති සඳහා යෙදවූ බවට විත්තියෙන් පැහැදිලි කිරීමක්
හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (31) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය.
ජාතික ලොතරැයි මණ්ඩලයට (NLB) අනුමත කාර්ය පටිපාටියෙන් පරිබාහිරව නිලධාරීන් පස්දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඔවුන් බාහිර කටයුතු සඳහා අනියුක්ත කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කොමිසම හමුවේ පෙනී සිටීම සහ විමර්ශන පසුබිම
සිදුකරන ලද කැඳවීමකට අනුව හිටපු අමාත්‍යවරයා අද උදෑසන 8.15 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අතර, එහිදී දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදී කරන ලද දැනුම්දීම්වලට අනුව ඔහු කොමිසම හමුවේ පෙනී සිට නොසිටි අතර, පසුගිය 29 වනදා විමර්ශන නිලධාරීන් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි ඔහුගේ නිවසට ගොස් සොයා බැලීමක්ද සිදුකර තිබිණි.
මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනී ශර්මිලා පෙරේරා ද මීට පෙර අත්අඩංගුවට පත්ව පසුව අධිකරණය මගින් ඇප මත මුදාහැරියේය.
CSR ව්‍යාපෘති සහ බඳවාගැනීම් පිළිබඳ විත්තියේ ස්ථාවරය
කෙසේවෙතත්, අදාළ චෝදනා සම්බන්ධයෙන් රවී කරුණානායක ගේ පාර්ශ්වය පෙන්වා දෙන්නේ මෙම නිලධාරීන් බඳවාගෙන ඇත්තේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස නීත්‍යනුකූල රාමුවක් තුළ බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති වෙනුවෙන් ඔවුන් අනුයුක්ත කර තිබූ බව එම පාර්ශ්වය සඳහන් කරයි. විශේෂයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු අරමුදල ශක්තිමත් කිරීම උදෙසා හඳුන්වා දුන් 'නීරෝගා' ලොතරැයි ව්‍යාපෘතිය සහ උතුරු-මැද හා නැගෙනහිර පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් සම්බන්ධීකරණය මෙම නිලධාරීන්ට පැවරී තිබූ ප්‍රධාන වගකීමක් බව ඔවුහු පවසති.
පැමිණීමේ වාර්තා හා දේශපාලන පසුබිම
අදාළ නිලධාරීන්ගේ සේවා පැමිණීම නිසි පරිදි සටහන් කර ජාතික ලොතරැයි මණ්ඩලය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කර ඇති බවත්, ඇගයීමට හා සම්මානයට පාත්‍ර වූ මහජන සුබසාධන වැඩසටහන් මාලාවක් මෙලෙස විමර්ශනයට ලක්වීම දේශපාලන අරමුණු මුල්කරගත් ක්‍රියාවලියක් බවත් විත්තියේ ස්ථාවරය වී තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ඉදිරි නීතිමය පියවර සඳහා අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.




