භූතාන නායකයින් සහ ජගත් නියෝජිතයින් සමඟ ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක්
භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව (Global Conscious Food Systems Summit - GCFSS 2026) සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (අගෝස්තු 31) පස්වරුවේ භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවාය.
එහිදී අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සඳහා භූතාන අග්‍රාමාත්‍ය ට්ෂෙරිං ටොබ්ගේ (Tshering Tobgay) ප්‍රමුඛ එරට රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක් විය. භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා, අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.


සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය අවධානය
භූතාන රජය, සවිඥානික ආහාර පද්ධති සන්ධානය (CoFSA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුව අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා දින පහක් පුරා පැවැත්වේ.
“ආහාර පද්ධති පරිවර්තනය සක්‍රීය කිරීම” (Activating the Heart of Food Systems Transformation) යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වී ඇති අතර, හුදු නිෂ්පාදන ඉලක්කවලින් ඔබ්බට ගොස් තිරසාරබව, පුනර්ජනනීය ආහාර පද්ධති, මානව සාරධර්ම, සංස්කෘතික පසුබිම සහ අභ්‍යන්තර ආකල්පමය පරිවර්තනයන් තුළින් ලෝක ආහාර අර්බුදයට විසඳුම් සෙවීම මෙහි මූලික අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් ප්‍රධාන දේශනයක්
සමුළුවේ සමාරම්භක පූර්ණ සැසිය අද (සැප්තැම්බර් 01) ඩුන්කාර් ඩිසොං (Dungkar Dzong) හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහි ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතය.
“අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන මාතෘකාව ඔස්සේ ඇය මෙහිදී අදහස් දැක්වීමට සූදානම් වන අතර, වත්මන් ලෝකය මුහුණ දෙන දේශගුණික විපර්යාස, ආර්ථික පීඩනයන් හා සම්පත් හිඟය හමුවේ ජනතා කේන්ද්‍රීය හා පරිසර හිතකාමී ආහාර සුරක්ෂිතතාවක් ගොඩනැඟීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ දැක්ම එහිදී ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තැබෙනු ඇත.
ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්
සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය තාන්ත්‍රික ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එක්වීමට නියමිතය.
ඒ අනුව භූතාන අග්‍රාමාත්‍යවරයා, එරට අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම සමුළුවට සහභාගී වන එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයෙකු ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයින් සහ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.
දකුණු ආසියානු කලාපය තුළ පාරිසරික සංරක්ෂණය සහ සතුට දර්ශකය (Gross National Happiness) පෙරදැරි කරගත් සංවර්ධනය සම්බන්ධයෙන් ලෝක අවධානය දිනාගත් භූතානය සමඟ ශ්‍රී ලංකාව පවත්වන දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කරගැනීමට මෙම සංචාරය වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.






