නියාමන ආයතනවල විමර්ශනය කඩිනම් කරන ලෙස මූල්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලැයිස්තුගත ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන ඒෂියා කැපිටල් (Asia Capital PLC) හි බහුතර කොටස් අයිතිය පැවරීම පිටුපස පවතින බව කියන අක්‍රමිකතා සහ ඊට අදාළ ප්‍රාග්ධන සම්භවය පිළිබඳව වහා විමර්ශනයක් අරඹන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ මූල්‍ය නියාමන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
අද (01) දහවල් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පෙන්වා දුන්නේ, ලැයිස්තුගත ආයතනයක පාලන හිමිකාරීත්වය හුවමාරුවීම සහ ඒ හරහා සිදුව ඇති ප්‍රාග්ධන ගලා ඒම් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මෙන්ම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
කොටස් හිමිකාරීත්වය සහ ආයෝජන පසුබිම
මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කළ සංජය මහවත්ත සඳහන් කළේ, ඒෂියා කැපිටල් සමාගමේ කොටස්වලින් 71.6%ක බහුතර හිමිකාරීත්වයක් 'ෆාස්ට් ගේන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්' (Fast Gain International Limited) නැමැති සමාගම වෙත පැවරී ඇති බවයි.
අදාළ සමාගම පිටුපස සිටින ප්‍රධාන ආයෝජකයා ලෙස ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරිකයෙකු වන විජය ඊශ්වරන් නමැත්තා කටයුතු කරන බව පෙන්වා දුන් කැඳවුම්කරු, ඔහු විසින් මෙහෙයවනු ලබන ආයතනික ජාලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මතු වී ඇති ගැටලු සහගත තත්ත්වයන් කිහිපයක් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළේය.
නීතිමය රාමුව සහ නියාමන ප්‍රතිපාදන
1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය ප්‍රකාරව, අනවසර මූල්‍ය සහ පිරමීඩ ආකෘතියේ ක්‍රමවේද ක්‍රියාත්මක කරන ආයතන 24ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට තුළ තහනම් කර ඇති බව මෙහිදී සිහිපත් කෙරිණි. එම ලැයිස්තුවට අදාළ පාර්ශ්වයන් හා සම්බන්ධ ආයතන ද ඇතුළත් වී ඇති පසුබිමක, මෙවැනි ප්‍රාග්ධන ආයෝජනයක් මෙරට ලැයිස්තුගත සමාගමක් වෙත ගලා ඒම සහ කොටස් හිමිකාරීත්වය හිමිවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂාවක් සිදු කිරීමේ වැදගත්කම සංවිධානය අවධාරණය කරයි.
විශේෂයෙන්ම, විදේශීය අධිකරණ බලප්‍රදේශවලින් නිකුත් කර ඇති නීතිමය නියෝග සහ රතු වරෙන්තු පිළිබඳ තොරතුරු පවතින බව පවසමින් මහවත්තප්‍රශ්න කර සිටියේ, එවැනි පසුබිමක් සහිත ආයෝජනයන් දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සංසරණය වීමේදී නියාමන පද්ධතීන්ගේ සුපරීක්ෂාකාරීත්වය තවදුරටත් දැඩි විය යුතු බවයි.
කඩිනම් පරීක්ෂණයක් සඳහා ඉල්ලීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ විනිවිදභාවය, ආයෝජක විශ්වාසය සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව රැකගැනීම සඳහා මෙම ගනුදෙනුව පිළිබඳව වහා විමර්ශනයක් පැවැත්විය යුතු බව සිවිල් බුද්ධි පෙරමුණ අවධාරණය කරයි.
සමාගම් කළමනාකාරීත්වයේ තීරණ, ප්‍රාග්ධන සම්භවය මෙන්ම නියාමන ආයතනවල මැදිහත්වීම සම්බන්ධයෙන් පවතින සැකසංකා දුරු කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) නිසි පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද සංජය මහවත්ත වැඩිදුරටත් සඳහන් කළේය.




