පාර්ලිමේන්තු සහ ඉන් පිටත විපක්ෂ කණ්ඩායම්වල ස්ථාවරය ගැන විවාදයක්
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වය පදනම් කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කර එල්ල වන දේශපාලන චෝදනාවල පරස්පරතාවක් පවතින බව සමගි ජන බලවේගය පවසයි.
පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ තෙල්දෙණිය ආසන සංවිධායක මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සභික මහේෂ් සේනානායක පෙන්වා දුන්නේ, ආණ්ඩු පක්ෂය මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත සිටින ඇතැම් විපක්ෂ කණ්ඩායම්ද එකිනෙකට පටහැනි අදහස් සමාජගත කරමින් සිටින බවයි.
එකිනෙකට පරස්පර චෝදනා සහ විපක්ෂයේ ස්ථාවරය
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සේනානායක සඳහන් කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය දක්වන අදහස් පිටුපස සජිත් ප්‍රේමදාස සිටින බවට ආණ්ඩු පාර්ශ්වයෙන් මීට පෙර චෝදනා එල්ල වූ බවයි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විපක්ෂ නායකවරයා ආණ්ඩුව සමඟ එකඟතාවයකින් කටයුතු කරන බවට තර්ක කිරීම හාස්‍යජනක කරුණක් බව ඔහු පැවසීය.
“එක් පැත්තකින් කියනවා සජිත් තමයි 22 වන සංශෝධනයට එරෙහිව සියලු දෙනා පෙළගස්වන්නේ කියලා. තවත් පැත්තකින් කියනවා ආණ්ඩුව එක්ක ඩීල් දානවා කියලා. මේ චෝදනාවල කිසිදු පදනමක් නෑ. සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන්නේ මේ රටේ ජනතාව සමඟ ඇති එකඟතාව පමණයි,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මහජන ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු නිල විපක්ෂය සමගි ජන බලවේගය බවත්, පාර්ලිමේන්තුවෙන් පිටත 'ඒකාබද්ධ විපක්ෂය' නමින් පෙනී සිටින විවිධ දේශපාලන කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
22 වන සංශෝධනය සහ ජාත්‍යන්තර අවධානය
යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද සංවාදයක් නිර්මාණය වී ඇති බව මහේෂ් සේනානායක මෙහිදී පෙන්වා දුන්නේය.
අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ ආයතනය (ICJ) සහ ආසියානු නීතිඥ සංගමය වැනි සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් ද අවධානය යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය. එවැනි කරුණු විමසීම් හමුවේ විනිවිදභාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම වගකිවයුතු පරිපාලනයක වගකීමක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




