කෘෂිකර්මාන්තය, ආර්ථිකය සහ අනාගත පරපුර සුරැකීමට සිවිල් සංවිධාන පෙරමුණ ගනී
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මඟ තීරණය කිරීමෙහිලා විකල්ප නායකත්වයක සහ පුළුල් පද්ධතිමය වෙනසක (System Change) පවතින කාලීන අවශ්‍යතාව අවධාරණය කරමින්, කොළඹ තරුණ බෞද්ධ සංගමය (YMBA) විසින් මෙහෙයවනු ලබන 'ලංකා මහජන සභාව' යළි සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.
"නව නායකත්වයක් සොයා අපි රට පුරා යන්න සූදානම්" යන තේමාව යටතේ කොළඹ, බොරැල්ල YMBA ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ වෘත්තිකයන් එක්ව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කළහ.
"සිහිනය 2029" සහ ජාතික අනන්‍යතාව
අනාගතයේදී රට මෙහෙයවීම සඳහා සුදුසු නව පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණින් "සිහිනය 2029" වැඩපිළිවෙළ ආරම්භ කළ බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති පණ්ඩුක මහේන්ද්‍ර ජයසේකර මෙහිදී ප්‍රකාශ කළේය.
ජාතික අනන්‍යතාව ඒකරාශී කරමින්, තරුණ පරපුරට රටේ ඉදිරි නායකත්වය භාරගැනීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය කිරීම මෙම ප්‍රයත්නයේ මූලික අභිප්‍රාය බව පෙන්වා දුන් සභාපතිවරයා, පවතින අභියෝග හමුවේ ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක් ගොඩනැගීමේ වැදගත්කම පැහැදිලි කළේය.
පද්ධතිමය වෙනස සහ කළමනාකරණ ප්‍රවේශය
මාධ්‍ය හමුව අමතමින් පිරිපුන් සංවිධානයේ සභාපති, ඉංජිනේරු ආනන්ද දේවසිංහ පෙන්වා දුන්නේ රට සංවර්ධනය කරා මෙහෙයවීමට නම් සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ගිය නිශ්චිත ක්‍රමවේදයක් (System) සහ පැහැදිලි නායකත්වයක් අත්‍යවශ්‍ය බවයි.
සම්පත් පැවතුණ ද නිසි ක්‍රමවේදයකින් තොරව කටයුතු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගත නොහැකි බව සඳහන් කළ ඔහු, පැරණි යාන්ත්‍රණයන්ම වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමෙන් සැබෑ පද්ධතිමය වෙනසක් සිදු නොවන බවත්, ඒ සඳහා පුළුල් මහජන මැදිහත්වීමක් සහිත ආකෘතියක් අවශ්‍ය බවත් අවධාරණය කළේය.
දේශපාලන රික්තය සහ විකල්ප දැක්ම
මේ වන විට රට හමුවේ පවතින සමාජ-ආර්ථික වාතාවරණය හමුවේ විකල්ප අදහස් සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සඳහා ඉඩකඩක් විවර වී ඇති බව සිවිල් ක්‍රියාකාරී එම්. ඩී. ආර්. අතුල සඳහන් කළේය. සාමාන්‍ය ජනතාවගේ හඬ නියෝජනය කරමින්, රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට ශක්තියක් වීම වෙනුවෙන් සිවිල් සංවිධාන "සිහිනය 2026" වැඩසටහන හා එක්ව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ක්ෂේත්‍ර බිඳවැටීම් සහ කෘෂිකර්මාන්තයේ අභියෝග
රට මුහුණ දෙන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ගැටලු පිළිබඳව අවධානය යොමු කළ ආචාර්ය පියවි විජේවර්ධන, විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරී වාතාවරණය පෙන්වා දුන්නේය.
ගොවි ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා හමුවේ කෘෂිකාර්මික අස්වැන්න පහළ යාමේ අවදානමක් පවතින බවත්, නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපල අස්ථාවරත්වය හේතුවෙන් ගොවීන් වගාවෙන් ඉවත් වීමේ ප්‍රවණතාව ජාතික ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල කළ හැකි බවත් ඔහු අනාවරණය කළේය.
මහජන එකමුතුව සහ අනාගත පරපුරේ වගකීම
ලංකා මහජන සභාවේ කැඳවුම්කරු රොෂාන් කරවනැල්ල මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, දිවයින පුරා සිටින රටට හිතැති, යහපත් මූලධර්ම මත පදනම් වූ පුරවැසියන් හා සිවිල් බලවේග එක් මධ්‍යස්ථානයකට ගොනු කිරීම තම අරමුණ බවයි.
අනාගත පරපුර වෙනුවෙන් වගකීම් සහගතව ක්‍රියාත්මක වීමේ වැදගත්කම පෙන්වා දුන් මහජන සභාවේ ක්‍රියාකාරිනී ඉනෝකා ලියනආරච්චි, රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා "සිහිනය 2026" වැඩපිළිවෙළ හරහා පුළුල් ජාතික කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළාය.
(සටහන | ජේ මුණසිංහ )




