*OMP කාර්යාලය අපරාධමය වගවීමට ආදේශකයක් නොවන බවට වින්දිත පවුල්වලින් චෝදනා; වසර අටකට සොයාගෙන ඇත්තේ 31ක් පමණයි.
බලහත්කාරයෙන් අතුරුදහන් කළ තම දරුවා කොහිදැයි නොදැන කිසිම මවක් මරුමුවට පත් විය යුතු නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරියක් උතුරේදී අවධාරණය කර තිබේ.
ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අනුව සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017 උතුරු නැගෙනහිර දෙපළාතේ විරෝධතා ආරම්භ කළ දෙමළ දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 400 ක් මේ වන විටත් යුක්තිය නොලබාම මිය ගොසිනි.
වින්දිතයාගේ ඉරණම නොදැන ඥාතීන් ඒ ගැන පිළිතුරු සොයන තාක් කල්, අතුරුදහන් කිරීමේ අපරාධය අඛණ්ඩව සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් අතුරුදහන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී මණ්ඩලයේ නියෝජිත ඇනා ලොරීනා දෙල්ගාදියෝ වැඩි දුරටත් අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට රාජ්‍යයටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් ඇති වගකීමත් එලෙසම පවතින බවයි.
ඇය ඒ බව කියා සිටියේ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ වින්දිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනයේ යාපනය තන්දෙයි සෙල්වා ශාලාවේ සංවිධානය කර තිබු ජාත්‍යන්තර සම්මේලනයක් අමතමිනි.
දණ්ඩ මුක්තිය රටතුල දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇය එහිදී දැඩි කනස්සල්ල පළ කර තිබුනි.
“දණ්ඩ මුක්තිය ඉහලින්ම පැවතීම කනස්සල්ලට හේතුවක්. සමාජය මත්තේ බරපතල ලෙස දණ්ඩ මුක්තිය යොදවා තිබෙන විට බලධාරීන් විසින් යවනු ලබන පණිවිඩය වන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට අවසර තිබෙන බවයි. දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් අපේ බරපතල අවධානය යොමු වෙන්නේ ඒ නිසයි.”
දණ්ඩමුක්තිය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම
උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබූවන්ගේ පාරිහාරික වස්තු විදහා දක්වමින් යාපනයේ පැවැත්වුණු දීර්ඝ යුක්ති පාද චාරිකාව ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ද බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් අතුරුදහන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී මණ්ඩලයේ නියෝජිතවරිය සමග එක්ව සිටි ඇම්නස්ටි ජාත්‍යන්තරයේ (AI) ආසියානු කලාපීය අධ්‍යක්ෂවරිය සත්‍යය, යුක්තිය හා හානි පුරණය සාක්ෂාත් කරගැනීම සඳහා වර්තමාන රජය අතීත පුරුදු වලින් බිඳී වෙන්විය යුතු බව අවධාරණය කළාය. ඊට ගැලපෙන පරිදි අතුරුදහන් තැනැත්තන් පිළිබඳ OMP කාර්යාලය කිරීම ඇගේ යෝජනාවක් විය.
උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ යුක්තිය ඉටු කරගැනීම සඳහා සත්‍යය අනාවරණය කරගැනීම සම්බන්ධයෙන් OMP කාර්යාලය පසුගිය අට අවුරුද්ද තිස්සේම පලදායි කාරියක් නොකළ බවයි.
“වර්තමාන ආණ්ඩුව සංහිඳියාව ගැන පුන පුනා කතා කර තියෙනවා. ඒත් ආණ්ඩුවේ ප්‍රකාශ හා නිශ්චිත ක්‍රියාකාරිත්වය අතර ඇත්තේ බරපතල පරතරයක්,” යැයි AI කලාපීය අධ්‍යක්ෂිකා ස්මෘති සිං යාපනයේදී ප්‍රකාශ කළාය.
විශ්වසනීය ජාත්‍යන්තර විමර්ශන සිදුකිරීමට හා සාක්ෂි සංරක්ෂණයට මෙන්ම හැකි අවස්ථාවලදී විශ්ව අධිකරණ බලය යොදාගනිමින් ජාත්‍යන්තර පරිමාන අපරාධ සම්බන්ධයෙන් වගඋත්තරදායකත්වය සහතික කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සතු වගකීමද ඇම්නස්ටි කලාපීය අධ්‍යක්ෂ වරිය එහිදී සිහිපත් කර දුන්නාය.
සුදු වෑන් රථය පෙරටු කරගත් යුක්තියේ පාගමන

සෑම වසරකම අගෝස්තු මස 30 වැනිදාට යෙදී තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ වින්දිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් විසින් යාපනයේ සංවිධානය කර තිබු ජාත්‍යන්තර සම්මේලනය වැඩ කටයුතු ආරම්භ කර තිබුනේ සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් 1974 වසරේදී ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකිරීම සදහා යාපනය වීරසිංහ ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධිය අසලදී පහන් දල්වමිනි.

එනැත් සිට ඔවුන් තන්දෙයි සෙල්වා ශාලාව වෙත පැමිණ තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන්ගේ ඡායාරූප වලින් වැසී ගිය සුදු වෑන් රියක් පෙරටු කරගත් විරෝධතා පෙළපාලියකිනි.
"OMP එක අපරාධමය වගවීමට ආදේශකයක් නොවේ"
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට යුද වින්දිතයන්ගේ විරෝධය එල්ලවීමට හේතුවද උතුරු නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්, දේශපාලන නියෝජිතයන්, ආගමික නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනයේ තන්දෙයි සෙල්වා ශාලවේ පැවැති සමුළුව අමතමින් උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරංජනී විසින් පැහැදිලි කර තිබුනි.
"ජාත්‍යන්තරයට ඉතා වැදගත් ප්‍රශ්නයක් වන අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය ඇයි අපි සම්පූර්ණයෙන්ම යාන්ත්‍රණයක් විදිහට භාරගන්නේ නැත්තේ කියන ප්‍රශ්නයට අපි උත්තර දෙන්න ඕනේ. මේ ප්‍රශ්නය එක ආයතනයකට විරුද්ධව නගන එකක් නෙවෙයි. OMP කාර්යාලය ඇති කිරීමෙන් විතරක් පවුල්වල අය ඉල්ලන යුක්තිය ඉටු වෙන්නේ නැහැ කියන එක තමයි අපගේ පවුල්වල අයගේ අත්දැකීම."
ඇය එහිදී දැඩිව පෙන්වා දී තිබුනේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය යනු යුද වින්දිතයන් ඉල්ලා සිටින යුක්තිය ඉටු කළ හැකි ස්ථානයක් නොවන බවයි.
"එක පවුලක් තමන්ගේ ඥාතීන්ගේ නම් කාර්යාලයක ලියාපදිංචි කරන්න අවුරුදු ගණන් තිස්සේ සටන් කරන්නේ නැහැ. එයාලා ඉල්ලන්නේ, අපගේ ගැඹුරු ප්‍රශ්නවලට උත්තර. අපගේ ඥාතීන්ට මෙනවාද වුණේ? එයාලාව කවුද එක්කගෙන ගියේ? එයාලාව කොහෙටද අරන් ගියේ? එයාලාව කොහෙද රඳවාගෙන ඉන්නේ? එයාලාට මොනවාද වුණේ? එයාලා පණපිටින් නැත්නම් එයාලාගේ මරණයට කවුද වගකියන්න ඕනේ? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව නඩුවක් වසා දැමීම යුක්ති සහගත නැහැ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වැදගත් ආයතනයක් වෙන්න පුළුවන්. ඒත් ඒක අපරාධමය වගවීම සහතික කිරීමට ආදේශක ආයතනයක් වෙන්න බැහැ."
වසර ගණනාවක් තිස්සේ දෙමළ මව්වරුන් ඉල්ලා සිටින යුක්තිය ඉටු කිරීමටනම් ආණ්ඩුව කළ යුත්තේ කුමක්දැයි උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරංජනී එහිදී පෙන්වා දී තිබේ.
"සත්‍ය වශයෙන්ම යුක්තිය ඉටු වෙන්න ඕනේ නම් සාක්ෂි ආරක්ෂා කරන්න ඕනේ. රාජ්‍ය සහ හමුදා ලේඛන ලබාගත යුතුයි. සම්බන්ධ වූ නිලධාරින්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. රඳවා තබාගැනීම්, භාරදීම් සම්බන්ධ අඛණ්ඩ ලේඛන ගැන පරීක්ෂණ කරන්න ඕනේ. මිනිස් ඇටසැකිලි ජාත්‍යන්තර නීතියට අනුව වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්න ඕනේ. වරද ඔප්පු වුණොත්, වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්න ඕනේ."
අවුරුදු අටකට සෙවූ 31 දෙනා සහ මව්වරුන්ට පොලිස් බාධා
විසි දෙදහසකට අධික අතුරුදහන් කිරීම් පිලිබඳ පැමිණිලි අට අවුරුද්දක් තිස්සේ සෝදිසි කොට 'ජීවමානව ඉන්නා' 31 දෙනකු සොයාගන්නට හැකිවූ බව අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ ප්‍රධානී තනතුරේ පස්වැනි අවුරුද්දේත් කටයුතු කරන නීතිඥ මහේෂ් කටුලන්ද මාධ්‍යවේදීන් හමුවේ පසුගියදා හෙළි කර තිබුනි.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ වින්දිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය විසින් අගෝස්තු මස අවසන් සතියේ යාපනයේ දී පැවැත්වු වැඩසටහනට විරෝධය පළ කරන යුද වින්දිත දෙමළ මව්වරුන්, ජීවමානව ඉන්නා බවට නීතිඥ මහේෂ් කටුලන්ද පැවසු 31 දෙනා සම්බන්ධයෙන් විස්තර ඉල්ලා දියත් කළ උද්ඝෝෂණයට සහභාගී වූ මාතාවන්ට පොලිසිය අඩන්තේට්ටම් කරන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන් විඩියෝ ගත කර තිබුනි.










