BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

සුරේෂ් සලේගේ රිට් පෙත්සම: ජයකි ද අල්විස් වාර්තාවේ වලංගුභාවය ගැන අභියාචනාධිකරණයේදී උණුසුම් තර්ක

T

The Leader Desk

September 3, 2026 • 4:26 PM

සුරේෂ් සලේගේ රිට් පෙත්සම: ජයකි ද අල්විස් වාර්තාවේ වලංගුභාවය ගැන අභියාචනාධිකරණයේදී උණුසුම් තර්ක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකාශයට පත්නොකළ වාර්තාවක ඡායා පිටපතක් අධිකරණයට දීම රීතීන්ට පටහැනි බවට විරෝධයක්
  • හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කරමින් තැපෑලෙන් ලැබුණු බව පැවසූ ලේඛනයක ඡායා පිටපතක් (photocopy) පමණක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එය අභියාචනාධිකරණ රීතීන්ට සපුරා පටහැනි බවත් හෙතෙම සඳහන් කළේය.
  • එමෙන්ම, වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පෞද්ගලික හා දේශපාලන පළිගැනීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවටද පෙත්සමෙන් චෝදනා නඟා තිබේ.
  • නඩු කටයුතු අතරතුර පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දෙන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අඩංගුවට ගැනීම ස්වාධීන විමර්ශනයක ප්‍රතිඵලයක් බව නීතිඥ සුරේන් ඩී පෙරේරා පවසයි; වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් 18ට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ  ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය හමුවේ අද (03) කැඳවූ අවස්ථාවේදී, පෙත්සමට අදාළව ඉදිරිපත් කර ඇති ලේඛනවල නෛතික වලංගුභාවය සම්බන්ධයෙන් දැඩි නීතිමය තර්ක මතු විය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන්  සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, කරුණු සලකා බැලීමෙන් අනතුරුව වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 18 වැනිදා දක්වා කල් තැබිණි.

නිල නොවන වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන මතු වූ නීතිමය විරෝධය

නඩු විභාගය අතරතුර පෙත්සමේ හයවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින රොහාන් සිල්වා පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ඩී පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පෙත්සම්කාර පාර්ශ්වය විසින් නඩුකරයට අදාළව ඉදිරිපත් කර ඇති ජයකි ද අල්විස් කොමිෂන් සභා වාර්තාව මෙතෙක් රජය හෝ අදාළ බලධාරීන් විසින් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව පෙන්වා දුන්නේය.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කරමින් තැපෑලෙන් ලැබුණු බව පැවසූ ලේඛනයක ඡායා පිටපතක් (photocopy) පමණක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එය අභියාචනාධිකරණ රීතීන්ට සපුරා පටහැනි බවත් හෙතෙම සඳහන් කළේය. රිට් ආඥාවක් ඉල්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී අදාළ ලේඛනවල මුල් පිටපතක් හෝ නිසි ලෙස සහතික කරන ලද පිටපතක් (certified copy) ඉදිරිපත් කළ යුතු බවත්, එබැවින් සත්‍ය කරුණු හෙළි කිරීමට අපොහොසත් වී ඇති මෙම පෙත්සම විභාගයට නොගෙන මූලික අදියරේදීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අත්අඩංගුවට ගැනීමේ පදනම සහ විමර්ශන පසුබිම

සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමා විසින් 2024 වසරේදී කළ පැමිණිල්ලක් හෝ 2023 වසරේදී 'චැනල් 4' (Channel 4) නාලිකාව ඔස්සේ අසාත් මවුලානා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ පදනම් කරගෙන නොවන බව නීතිඥ සුරේන් ඩී පෙරේරා මෙහිදී අධිකරණයට පැහැදිලි කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනක් ද සිල්වා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශ පදනම් කරගනිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දීර්ඝ හා ස්වාධීන විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස බවද නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය සහ නීතිපතිගේ කොන්දේසිය

පෙත්සම්කාර සුරේෂ් සලේ  සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඊට අදාළ කුමන්ත්‍රණ සිදුවූ බව කියන කාලසීමාවේදී තමන් රාජකාරිමය සහ අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඉන්දියාවේ සහ මැලේසියාවේ ගත කරමින් සිටි බවයි. එමෙන්ම, වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පෞද්ගලික හා දේශපාලන පළිගැනීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවටද පෙත්සමෙන් චෝදනා නඟා තිබේ.

නඩු කටයුතු අතරතුර පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දෙන ලෙසයි.

මීට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ප්‍රකාශ කළේ එම සංශෝධනයට නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි. කෙසේ වෙතත්, පෙත්සම්කරු විසින් දැනට අධිකරණයෙන් ඉල්ලා ඇති සහනවල කිසිදු වෙනසක් සිදු නොකළ යුතු බවට කොන්දේසියක් පැනවූ ඇය, යම් හෙයකින් ඉල්ලා ඇති සහන වෙනස් කළහොත් ඊට එරෙහිව විරෝධතා ගොනු කරන බවද අවධාරණය කළාය.

දෙපාර්ශ්වයේ මූලික කරුණු දැක්වීම් අවසානයේ නඩුවේ වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් 18 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළ අතර, එදිනට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන විසින් සිය ප්‍රතිචාරාත්මක දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...